ආපදා ව්‍යසනයෙන් පීඩාවට පත් ජනජීවිත යථා තත්ත්වයට පත් කිරීමේ සහන වැඩපිළිවෙළේදී කිසිදු අයුරකින් මුදල් බාධාවක් කර නොගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට අවධාරණය කළේය. බදුල්ල දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක්වෙමින් ජනාධිපතිවරයා සඳහන් කළේ, මෙම වසර තුළ ආපදා ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් කර ලබන වසරේ සිට දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු යළි ආරම්භ කිරීමට සූදානම් වන ලෙසයි.
බදුල්ල දිස්ත්‍රික්කයේ පවුල් 26,517කට අයත් පුද්ගලයන් 90,667 දෙනෙකු ආපදා තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්ව ඇති අතර, වතු සහ ග්‍රාමීය නිවාස රැසකට පූර්ණ හානි සිදුව තිබේ. සමස්තයක් ලෙස පවුල් 3,434ක් නැවත පදිංචි කළ යුතු බව හඳුනාගෙන ඇති අතර, එම ක්‍රියාවලිය කඩිනම් කිරීමේදී මතුව ඇති ගැටලු පිළිබඳවද ජනාධිපතිවරයා මෙහිදී දීර්ඝ වශයෙන් කරුණු විමසනු ලැබීය. අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා සහ ඌව පළාත් ආණ්ඩුකාර නීතිඥ කපිල ජයසේකර මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.














