අන්තර්ජාතික අපරාධ අධිකරණය (ICC) මඟින් සොයනු ලබන සෙනෙට් මන්ත්‍රීවරයෙකු රැකවරණය පතා සෙනට් මණ්ඩල ගොඩනැඟිල්ල තුළ රැඳී සිටීම හේතුවෙන් පිලිපීන සෙනෙට් ගොඩනැඟිල්ල වසා දැමීමට බලධාරීන් පියවර ගෙන තිබේ. හමුදා නිලධාරීන් ගොඩනැඟිල්ල වෙත ඇතුළු වීමත් සමඟ මෙම තීරණය ගෙන ඇති අතර, එම අවස්ථාවේදී වෙඩි හඬවල් කිහිපයක්ම ඇසුණු බව විදෙස් වාර්තා සඳහන් කරයි. කෙසේ වෙතත්, මෙම වෙඩි තැබීම සිදුකළේ කවුරුන්ද යන්න පිළිබඳව බලධාරීන් මෙතෙක් නිල ප්‍රකාශයක් කර නොමැති අතර සිද්ධියෙන් කිසිදු ජීවිත හානියක් සිදුව නොමැත.
මෙලෙස රැකවරණය පතා සිටින්නේ සෙනෙට් මන්ත්‍රී රොනල්ඩ් ඩෙලා රෝසා වන අතර, ඔහු මේ වන විට ආරක්ෂක නිලධාරීන් සමඟ ආරක්ෂිතව පසුවන බව වාර්තා වේ. හිටපු ජනාධිපති රොද්‍රිගෝ ඩුටර්ට්ගේ පාලන සමයේදී පොලිස් ප්‍රධානියා ලෙස කටයුතු කරමින්, මත්ද්‍රව්‍ය විරෝධී මෙහෙයුම් මුවාවෙන් පුද්ගලයන් දස දහස් ගණනක් ඝාතනය කළ බවට ඔහුට අන්තර්ජාතික අපරාධ අධිකරණය මඟින් චෝදනා එල්ල වී තිබේ. තමා අත්අඩංගුවට ගැනීම නියත වශයෙන්ම සිදුවනු ඇතැයි විශ්වාස කරන බව මීට පෙර ප්‍රකාශ කළ මන්ත්‍රීවරයා, එය වළක්වන ලෙස පිලිපීන ජනතාවගෙන් ඉල්ලා සිටියේය. මේ අතර, අදාළ ඝාතන සම්බන්ධයෙන් චෝදනා ලැබූ හිටපු ජනාධිපති ඩුටර්ට් 2025 මාර්තු මාසයේ සිට හේග් නුවර රඳවා තබාගෙන සිටින බව ද සඳහන් වේ.














