ජාතික ජන බලවේගයේ සාමාජිකයන් “හිඟන්නන්” පිරිසක් නොවන බවත්, ඔවුන්ගේ වත්කම් හා දේපළ සම්බන්ධයෙන් පවතින විවේචන ජනතාවගෙන් පැනනැගුණු ඒවා නොව විපක්ෂය සහ ඇතැම් කල්ලි විසින් පතුරුවා හරින ලද මතවාදයන් බවත් අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පවසයි. රූපවාහිනී සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ රජයේ පාර්ශ්වකරුවන්ගේ වත්කම්, නිවාස සහ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳව සාමාන්‍ය ජනතාව ප්‍රශ්න නොකරන බවයි. ජාතික ජන බලවේගය නියෝජනය කරන පිරිස් සතුව මුදල් තිබිය නොහැකි බවට විපක්ෂය ගොඩනගා ඇති මතය ප්‍රතික්ෂේප කළ ඔහු, තමන් ඇතුළු කණ්ඩායමේ සියලු දෙනා වත්කම් බැරකම් ප්‍රකාශ කර ඇති බැවින් ඕනෑම අයෙකුට ඒ පිළිබඳ විමර්ශනය කිරීමට අවස්ථාව පවතින බව පෙන්වා දුන්නේය. ඇතැම් අවස්ථාවල පක්ෂ සාමාජිකයන්ගේ ප්‍රකාශ පාදක කරගනිමින් විපක්ෂය විවිධ චෝදනා ගොඩනැගුවද, ඒවා කිසිසේත්ම ප්‍රතිපත්තිමය හෝ තීන්දු ගැනීමේ වැරදි නොවන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.














