ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ මෘදුකාංගයක් ස්ථාපනය කිරීමේදී සිදුවූ බව කියන රුපියල් ලක්ෂ 98කට අධික මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් එම දෙපාර්තමේන්තුවේ තොරතුරු තාක්ෂණ අංශයේ ප්‍රධානියෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ එම දෙපාර්තමේන්තුවේ තොරතුරු තාක්ෂණ හා ප්‍රත්‍යන්ත පාලන නිලධාරියා ලෙස කටයුතු කළ පුද්ගලයාය.
පරීක්ෂණ වාර්තා පෙන්වා දෙන්නේ ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සඳහා ‘User Management Module’ නමැති මෘදුකාංගය ස්ථාපනය කිරීමට රුපියල් 9,831,250ක මුදලක් රජය විසින් ගෙවා ඇති බවයි. කෙසේ වෙතත්, අදාළ මෘදුකාංගය ස්ථාපනය නොකර සහ එය දෙපාර්තමේන්තුව වෙත ලබා නොගෙන එම මුදල් වංචාකාරී ලෙස ලබාගැනීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් මෙම නිලධාරියාට ප්‍රධාන වශයෙන් චෝදනා එල්ල වී ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන අංශය විසින් සිදුකළ දීර්ඝ විමර්ශනයකින් පසුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ. විශේෂයෙන්ම මෙම වංචාව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ගැනෙන වරදක් බව ද සඳහන් වේ.
අත්අඩංගුවට ගත් සැකකරු කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව, කඩුවෙල මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා නියෝග කළේ ඔහුව ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි.














