චීන – අමෙරිකානු සබඳතාවල ස්ථාවර සහ තිරසර සංවර්ධනයක් උදෙසා චීනය උපරිම කැපවීමෙන් කටයුතු කරන බව චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ප්‍රකාශ කර තිබේ. දෙරට අතර සබඳතාවේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින්, “සංවර්ධනාත්මක උපායමාර්ගික ස්ථාවරත්ව සම්බන්ධතාවය” ගොඩනැගීමට තමා සහ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා එකඟ වූ බව ඔහු ඊයේ (14) අනාවරණය කළේය. ඉදිරි වසර තුන සහ ඉන් ඉදිරියට ද්විපාර්ශ්වික සබඳතා මෙහෙයවීම සඳහා මෙම එකඟතාව ප්‍රබල උපායමාර්ගික මඟපෙන්වීමක් වනු ඇති බව ජනාධිපතිවරයාගේ විශ්වාසයයි.
ජනාධිපති ෂී ජින්පිං පෙන්වා දෙන පරිදි මෙම ‘සංවර්ධනාත්මක උපායමාර්ගික ස්ථාවරත්වය’ යන්නෙන් අදහස් කරන්නේ සහයෝගීතාව පිළිබඳ ධනාත්මක ස්ථාවරත්වයක් සහ තරගකාරිත්වය නිසි සීමාවන් තුළ පවත්වා ගන්නා මෘදු ස්ථාවරත්වයකි. එමෙන්ම පාලනය කළ හැකි වෙනස්කම් සහිත සාමාන්‍යකරණ ස්ථාවරත්වයක් සහ සාමය තහවුරු කෙරෙන කල්පවතින ස්ථාවරත්වයක් ගොඩනැගීම මෙහි මූලික අරමුණ වේ. මෙය හුදු ප්‍රකාශයක් පමණක් නොව, දෙරටම පොදු අරමුණක් කරා ගමන් කිරීම සඳහා වන ප්‍රායෝගික ක්‍රියාමාර්ගයක් බව ද ඔහු අවධාරණය කළේය.
මෙම නව රාජ්‍ය තාන්ත්‍රික ප්‍රවේශය දෙරටේ ජනතාවට මෙන්ම සමස්ත ජාත්‍යන්තර ප්‍රජාවට ද සුබවාදී ප්‍රතිඵල අත්කර දෙනු ඇති බව චීන ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය. ලොව ප්‍රබලතම ආර්ථිකයන් හිමි රටවල් දෙක අතර ඇති වූ මෙම එකඟතාව ගෝලීය දේශපාලනික සහ ආර්ථික ස්ථාවරත්වය කෙරෙහි ප්‍රබල බලපෑමක් එල්ල කරනු ඇතැයි දේශපාලන විචාරකයෝ පවසති.














