ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය සහ ප්‍රකෘතිමත් වීමේ ක්‍රියාවලිය සඳහා ලබාදෙන සහාය අඛණ්ඩව සපයන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) යළිත් සහතික කරයි. ඊයේ (14) පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සන්නිවේදන අධ්‍යක්ෂ ජූලි කොසැක් මහත්මිය සඳහන් කළේ, මෑතකාලීන අභියෝග හමුවේ වුවද ශ්‍රී ලංකාව පෙන්නුම් කරන ආර්ථික ඔරොත්තු දීමේ හැකියාව සුවිශේෂී වන බවයි.
ශ්‍රී ලංකා ආර්ථිකයට ප්‍රබල පීඩනයක් එල්ල කළ ප්‍රධාන කම්පන දෙකක් පිළිබඳව ඇය මෙහිදී කරුණු පැහැදිලි කළාය. ඉන් පළමුවැන්න ආර්ථික ක්‍රියාකාරකම්වලට දැඩි බලපෑමක් එල්ල කළ “දිට්වා” සුළි කුණාටුව වන අතර, දෙවැන්න මැද පෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හේතුවෙන් ඇති වූ අඛණ්ඩ බලපෑමයි. එවැනි බාහිර හා අභ්‍යන්තර අභියෝග මධ්‍යයේ වුවද ශ්‍රී ලංකා බලධාරීන් ප්‍රතිසංස්කරණ වැඩසටහන ඉදිරියට ගෙන යාම අගය කළ යුතු බව ඇය පෙන්වා දුන්නාය.
බලධාරීන්ගේ ශක්තිමත් කැපවීම මත පදනම්ව ක්‍රියාත්මක කෙරෙන IMF ප්‍රතිසංස්කරණ වැඩසටහන මේ වන විට සාධනීය ප්‍රතිඵල ලබාදීමට පටන් ගෙන ඇති බවද කොසැක් මහත්මිය සඳහන් කළාය. ඒ අනුව රටේ ආර්ථික කාර්යසාධනය ක්‍රමයෙන් දියුණු වෙමින් පවතින බවත්, එම ප්‍රගතිය පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය පූර්ණ සහයෝගය ඉදිරියටත් ශ්‍රී ලංකාවට හිමිවන බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අවධාරණය කරයි.














