ටෙක්සාස් ප්‍රාන්තයේ බලධාරීන්ට අනවසර සංක්‍රමණිකයන් අත්අඩංගුවට ගැනීමට සහ පිටුවහල් කිරීමට බලය ලබා දෙන දැඩි නීතියක (SB 4) ප්‍රධාන කොටස් ක්‍රියාත්මක කිරීම ඇමෙරිකානු ෆෙඩරල් විනිසුරුවරයෙකු විසින් ඊයේ (14) වළක්වාලනු ලැබීය. ඔස්ටින්හි එක්සත් ජනපද දිස්ත්‍රික් විනිසුරු ඩේවිඩ් එස්රා මහතා විසින් මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කරන ලද්දේ සිවිල් අයිතිවාසිකම් සංවිධාන විසින් ඉදිරිපත් කරන ලද පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවය.
සංක්‍රමණය, පුරවැසිභාවය සහ පිටුවහල් කිරීම පාලනය කිරීමේ පරම බලය ඇත්තේ ෆෙඩරල් රජයට මිස ප්‍රාන්ත රජයකට නොවන බව විනිසුරු එස්රා සිය තීන්දුවේ සඳහන් කළේය. ටෙක්සාස් ප්‍රාන්තය විසින් හඳුන්වා දුන් මෙම නීතිය මඟින් ෆෙඩරල් අධීක්ෂණයකින් තොරව ක්‍රියා කිරීමට ප්‍රාන්ත නිලධාරීන්ට බලය පැවරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ඔහු පෙන්වා දුන්නේය.
අද (15) දින සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබූ මෙම නීතිය යටතේ, මීට පෙර පිටුවහල් කරන ලද අයෙකුට ෆෙඩරල් රජයෙන් නීත්‍යානුකූල අවසර ලැබී තිබුණද, ඔවුන් යළි ප්‍රාන්තයට ඇතුළු වීම වරදක් ලෙස සැලකීමටත්, ටෙක්සාස් විනිසුරුවරුන්ට පිටුවහල් කිරීමේ නියෝග නිකුත් කිරීමටත් බලය පවරා තිබුණි. මෙම ප්‍රතිපාදන හමුවේ දහස් සංඛ්‍යාත පිරිසක් අසාධාරණ ලෙස අත්අඩංගුවට පත්වීමේ අවදානමක් පවතින බව පැමිණිලිකරුවන් තර්ක කළහ.
රිපබ්ලිකන් පාක්ෂික ජනාධිපති රොනල්ඩ් රේගන් යටතේ පත්වූ විනිසුරුවරයෙකු විසින් මෙම තීන්දුව ලබා දීම විශේෂත්වයකි. ටෙක්සාස් ප්‍රාන්තයේ රිපබ්ලිකන් පාක්ෂික නීතිපතිවරයාගේ කාර්යාලය මෙම නීතිය වෙනුවෙන් පෙනී සිටි අතර, සංක්‍රමණික අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායම් පවසන්නේ ටෙක්සාස් ප්‍රාන්තයට අමෙරිකානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අභිබවා යාමට නොහැකි බව මෙම තීන්දුවෙන් යළි තහවුරු වූ බවයි.














