අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පිං අතර පැවැත්වෙන දෙවන දින නිල සාකච්ඡාවලට පෙර, තායිවානය කෙරෙහි අමෙරිකාව දක්වන ස්ථාවර සහයෝගය පිළිබඳව තායිවානය අද (15) සිය කෘතඥතාව පළ කළේය. තායිවානයේ ආරක්ෂාව සහ කලාපීය ස්ථාවරත්වය වෙනුවෙන් අමෙරිකානු ප්‍රතිපත්තියේ කිසිදු වෙනසක් සිදුව නොමැති බව තහවුරු කිරීම මෙහිදී අගය කර තිබේ.
අමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ තහවුරු කළේ ජනාධිපතිවරුන් දෙදෙනා අතර පැවති සාකච්ඡාවලදී තායිවාන ප්‍රශ්නය මතු වූ නමුත්, තායිවානය සම්බන්ධ අමෙරිකානු ප්‍රතිපත්තිය නොවෙනස්ව පවතින බවයි. තායිවානයට එරෙහිව බලය භාවිතා කිරීම චීනය කරන “භයානක වැරැද්දක්” වනු ඇති බවද ඔහු වැඩිදුරටත් අනාවරණය කළේය.
ජනාධිපති ෂී ජින්පිං ඊයේ (14) ට්‍රම්ප් ජනාධිපතිවරයා හමුවේ පවසා ඇත්තේ, තායිවානය සම්බන්ධ එකඟ නොවීම් නිසි ලෙස කළමනාකරණය නොකළහොත් චීන – අමෙරිකානු සබඳතා “අන්තරාදායක තත්ත්වයකට” පත්විය හැකි බවයි. චීනය දිගින් දිගටම තායිවානය සිය අයිතිවාසිකමක් ලෙස සලකන අතර තායිවානයට අවි අලෙවි කිරීම නවත්වන ලෙස අමෙරිකාවෙන් ඉල්ලා සිටියි.
තායිවාන විදේශ අමාත්‍ය ලින් චියා-ලුන් ප්‍රකාශ කළේ බීජිං පාලනය කලාපීය සාමයට ප්‍රධාන තර්ජනයක් වී ඇති බවයි. තායිවාන ආරක්ෂක අමාත්‍යාංශයට අනුව, අද උදෑසන වන විටත් තායිවානය අවට මුහුදේ චීන යුද නෞකා 7ක් ක්‍රියාත්මක වෙමින් පවතින අතර, චීනයේ මෙම යුදමය ක්‍රියාකාරකම් කලාපීය ස්ථාවරත්වයට දැඩි අවදානමක් බව තායිවානය පෙන්වා දෙයි.
ලබන බදාදා තායිවාන ජනාධිපති ලායි චින්-ටේ සිය ධුර කාලයේ දෙවන වසර සපුරන බැවින්, මෙම සංවත්සරය ආසන්නයේ චීනය සිය යුද අභ්‍යාස තීව්‍ර කරනු ඇත්දැයි තායිවානය දැඩි විමසිල්ලෙන් පසුවෙයි.
















