ශ්‍රී ලංකාවේ විදුලි බල ක්ෂේත්‍රය තුළ නිෂ්පාදන පිරිවැය අවම කරමින් පාරිභෝගික විදුලි බිල අඩු කිරීම ඉලක්ක කරගත් සුවිශේෂී ප්‍රතිසංස්කරණ මාලාවක් ක්‍රියාත්මක කරන බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පවසයි. මෙම වැඩපිළිවෙළ යටතේ ජල විදුලි උත්පාදන කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට සහ සමස්ත විදුලි උත්පාදනය සඳහා පුනර්ජනනීය බලශක්ති දායකත්වය සැලකිය යුතු ලෙස වැඩි කිරීමට පියවර ගන්නා අතර එමගින් අනාගතයේදී සහනදායී විදුලි බිලක් ජනතාවට ලබා දීමට හැකි වනු ඇත. විදුලි බල ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ යටතේ ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගැන්වුණු සේවකයන් වෙනුවෙන් වන්දි ප්‍රදානය කිරීම සඳහා දෙහිවලදී පැවැති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා අවධාරණය කළේ ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම හරහා පාරිභෝගිකයාට ගුණාත්මක සහ කාර්යක්ෂම සේවාවක් සැපයීම රජයේ මූලික පොරොන්දුවක් බවයි.
එමෙන්ම මෙම ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය තුළ සේවක අයිතිවාසිකම් සහ ඔවුන්ට ලබා දුන් පොරොන්දු ද අකුරටම ඉටු කිරීමට රජය කටයුතු කර ඇති බව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය. ඒ අනුව ස්වේච්ඡාවෙන් විශ්‍රාම යාමට කැමැත්ත පළ කළ සේවකයන් 1,898 දෙනෙකු වෙනුවෙන් මූල්‍ය වන්දි ප්‍රදානය කිරීම මෙහිදී සිදු වූ අතර මෙම අවස්ථාවට විදුලිබල නියෝජ්‍ය අමාත්‍ය අර්කම් ඉල්යාස් මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වූහ. නව ආයතනික ව්‍යුහයක් හරහා විදුලි බල ක්ෂේත්‍රයේ පවතින අකාර්යක්ෂමතාවන් ඉවත් කර වඩාත් විනිවිද පෙනෙන සහ ජනතාවට බරක් නොවන බලශක්ති උත්පාදන ක්‍රියාවලියක් ස්ථාපිත කිරීම මෙම සමස්ත ප්‍රතිසංස්කරණවල මූලික අරමුණයි.














