සෞඛ්‍ය සම්පන්න ජාතියක් යනු ශක්තිමත් ආර්ථිකයක සහ සමෘද්ධිමත් අනාගතයක පදනම වන බැවින් දුම්කොළ පරිභෝජනය අවම කිරීම ජාතික සංවර්ධනයේ වැදගත් පියවරක් බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විඡේමුණි මහතා පවසයි. කොළඹ සිනමන් ලේක්සයිඩ් හෝටලයේදී පැවැති “ශ්‍රී ලංකාවේ දුම්කොළ භාවිතය හා දුම්පානය නැවැත්වීම වැඩි දියුණු කිරීමේ උපාය මාර්ග” පිළිබඳ සාකච්ඡාවට එක්වෙමින් ඒ මහතා මේ බව අවධාරණය කළේය. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විශ්වවිද්‍යාල පහක් සහ ගෝලීය සෞඛ්‍ය පිළිබඳ Respire ව්‍යාපෘතිය එක්ව සංවිධානය කළ මෙම වැඩසටහනේදී ආසියානු කලාපයේ ශ්වසන රෝග අවම කිරීම සහ ජනතාවගේ සෞඛ්‍ය මට්ටම ඉහළ නැංවීම සඳහා වන ජාත්‍යන්තර මැදිහත්වීම් පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා විය.
ලෝකයේ වළක්වා ගත හැකි මරණවලට ප්‍රධානතම හේතුවක් වන දුම්කොළ භාවිතය හේතුවෙන් මෙරට සෞඛ්‍ය සේවා පද්ධතියට සහ ආර්ථිකයට දැඩි බරක් පැටවී ඇති බවත් රජයේ මූලික අරමුණ ජනතාව රෝගවලින් තොරව තැබීම මිස රෝගී වූ පසු ප්‍රතිකාර කිරීම පමණක් නොවන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය. විශේෂයෙන්ම දුම්කොළ කර්මාන්තය විසින් වක්‍ර අලෙවිකරණ උපක්‍රම සහ ආකර්ෂණීය සැලසුම් හරහා තරුණ පරපුර ඉලක්ක කරන බැවින් නව ආකාරයේ සියලු නිකොටින් ඇබ්බැහිවීම් පිළිබඳව රජය සුපරීක්ෂාකාරීව පසුවන බවද ඔහු සඳහන් කළේය. දුම්පානය සියයට සියයක්ම වළක්වා ගත හැකි තත්ත්වයක් බවත් ඒ සඳහා වන ප්‍රතිපත්ති සහ සහයෝගී ප්‍රවේශයන් තවදුරටත් ශක්තිමත් කරමින් සෞඛ්‍ය සම්පන්න ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට රජය කැපවන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.














