කැලණිය සහ වනවාසල දුම්රිය ස්ථාන අතරදී අද (16) අලුයම සිදුවූ දුම්රිය පීලි පැනීමක් සහ මැදිරියක් පෙරළී යාමේ අනතුරෙන් මගීන් 12 දෙනෙකු සුළු තුවාල ලබා රෝහල් ගත කර තිබේ. අනතුර සිදුවන අවස්ථාවේදී දුම්රියේ ගමන් කළ මගියෙකු ඉවතට විසිවී, පෙරළුණු දුම්රිය මැදිරිය සහ රේල් පාර අසල නවතා තිබූ මෝටර් රථයකට සිරවීමෙන් බරපතළ තුවාල ලබා ඇති බවට පොලිසිය සැක කරයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් මහතා සඳහන් කළේ තුවාල ලැබූ මගීන් අනතුර සිදුවූ ස්ථානය අසල පිහිටි පෞද්ගලික රෝහල් වෙත ඇතුළත් කර ඇති අතර, එක් අයෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත මාරු කර යවා ඇති බවයි. දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු ප්‍රකාශ කළේ මේ හේතුවෙන් පහළ දුම්රිය මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී ඇති නමුත් ඉහළ මාර්ගයේ සහ තෙවන මාර්ගයේ දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදුවන බවයි.
මේ අතර, අනතුර සිදුවූ ස්ථානයේ දුම්රිය මාර්ගයේ රේල් ඇණ ගලවා ඉවත් කළ බවට සැකපිට මත්ද්‍රව්‍යවලට තදින්ම ඇබ්බැහි වූ පුද්ගලයෙකු පෑලියගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු ගලවන ලද රේල් ඇණ වෙනත් ස්ථානයකට ප්‍රවාහනය කළ පුද්ගලයා බවට මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇති අතර, සිද්ධියට සම්බන්ධ අනෙක් සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය පුළුල් විමර්ශන ආරම්භ කර ඇත.













