2014 වසරේදී මහත් ආන්දෝලනයකින් යුතුව ආරම්භ කරන ලද කොළඹ පාවෙන වෙළෙඳ සංකීර්ණයේ (Floating Market) පවතින දැඩි අබලන් තත්ත්වය සහ බේරේ වැව අවට ප්‍රදේශයේ සිදුවන අවිධිමත් ක්‍රියාකාරකම් පිළිබඳව සොයා බැලීම සඳහා නාගරික සංවර්ධන අධිකාරියේ (UDA) සහ ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් ඊයේ (15) විශේෂ නිරීක්ෂණ චාරිකාවක නිරත විය. නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා ඇතුළු උසස් නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
මෙහිදී අනාවරණය වූයේ වසර පහක බදු ගිවිසුම් යටතේ වෙළෙඳුන් වෙත පවරා තිබූ සමස්ත කඩකාමර 92න් මේ වන විට සක්‍රියව පවත්වාගෙන යනු ලබන්නේ කඩකාමර 16ක් වැනි සුළු ප්‍රමාණයක් පමණක් බවයි. විධිමත් නඩත්තු කටයුතු සිදු නොවීම හේතුවෙන් වෙළෙඳ සංකීර්ණයේ ලී සහ ලෝහමය ව්‍යුහයන් සම්පූර්ණයෙන්ම දිරාපත්ව ඇති අතර, බැස්ටියන් මාවත සහ ඩී.ආර්. විජේවර්ධන මාවත යා කරන පදික වේදිකාවේ අත්වැටවල් කැඩී යාම නිසා දෛනිකව ගමන් ගන්නා මගීන්ගේ ආරක්ෂාවට ද දැඩි තර්ජනයක් එල්ල වී තිබේ.
මීට අමතරව, විදුලි පද්ධතිය අක්‍රිය වීම නිසා රාත්‍රී කාලයට මෙම ප්‍රදේශය අඳුරේ පවතින අතර, ඒ හේතුවෙන් විවිධ නීතිවිරෝධී ක්‍රියාකාරකම් සිදුවන ස්ථානයක් බවට මෙය පත්ව ඇති බව බලධාරීන් පෙන්වා දෙයි. හෙක්ටයාර 65ක වපසරියකින් යුත් බේරේ වැව පරිශ්‍රයේ පවතින පාරිසරික හා සෞඛ්‍ය ගැටලු මෙන්ම එහි පිහිටි අබලන් වූ එල්ලෙන පාලම සහ “කලදූව බබල් ෂේඩ්” (Kaladuwa Bubble Shade) ව්‍යුහය පිළිබඳව ද මෙහිදී නිලධාරීන්ගේ විශේෂ අවධානය යොමු විය.













