ගම්පහ, මල්වාන ප්‍රදේශයේ පිහිටි රජයට අයත් ඉඩමක ඇති නිවසක් තුළට අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ (IUSF) සාමාජිකයන් පිරිසක් අනවසරයෙන් ඇතුළු වී එය බලහත්කාරයෙන් අත්පත් කරගෙන සිටීමට එරෙහිව දොම්පේ ප්‍රාදේශීය ලේකම්වරයා විසින් පොලිසියට නිල වශයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
අදාළ දේපළ රාජ්‍ය විශ්වවිද්‍යාලවල ප්‍රයෝජනය සඳහා වෙන්කර දෙන ලෙස ඉල්ලමින් අන්තරේ ශිෂ්‍ය ක්‍රියාකාරීන් පිරිසක් පසුගිය 14 වැනිදා සිට මෙම හිමිකරුවෙකු නොමැති මල්වානේ නිවස සහ ඉඩම අත්පත් කරගනිමින් විරෝධතාවක නිරත වෙති.
මේ අතර, නව ජන පෙරමුණ (New People’s Front) ද අද (16) දින මෙම සිදුවීමට එරෙහිව දොම්පේ පොලිසියට තවත් පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. ඒ පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම පක්ෂයේ නියෝජ්‍ය නායක උපතිස්ස කුමාරතුංග මහතා මෙසේ පැවසීය:
“මේ අලුත් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය කියන්නේ ජනතා විමුක්ති පෙරමුණේ බළල් අතක්. මේ ස්ථානයේ සිට කිලෝමීටර් 24ක් ඇතුළත කැලණිය විශ්වවිද්‍යාලයත්, කිලෝමීටර් 22ක් ඇතුළත යක්කල ආයුර්වේද විශ්වවිද්‍යාලයත් පිහිටලා තිබෙනවා. මෙහෙම තියෙද්දී ශිෂ්‍යයන් මේ දේපළ විශ්වවිද්‍යාලයකට දෙන්න කියන්නේ කොහොමද? මෑතකදී බලපෑ ‘ඩිට්වා’ (Ditwah) සුළි කුණාටුව වෙලාවේ මේ ගොඩනැඟිල්ලේ අඩි 50ක් විතර වතුරෙන් යටවෙලා ඉතුරු වුණේ උඩ තට්ටුව විතරයි. ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන උවමනාවන්වලට අහුවෙන්න එපා කියලා අපි සිසුන්ගෙන් ඉල්ලනවා. ප්‍රාදේශීය ලේකම්වරයා වගේම දේශපාලන පක්ෂයක් විදිහට අපිත් පැමිණිලි කරලා තියෙන නිසා මේ නීතිවිරෝධී පදිංචිකරුවන්ව පොලිසිය විසින් කඩිනමින් ඉවත් කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා.”














