ලන්ඩනයේ වෙම්බ්ලි ක්‍රීඩාංගණයේදී (Wembley Stadium) පැවැති සුපිරි බලවතුන්ගේ FA කුසලාන පාපන්දු තරගාවලියේ (FA Cup Final) අවසන් මහා තරගයෙන් චෙල්සි කණ්ඩායම 1-0ක් ලෙස පරාජය කරමින් මෙවර FA කුසලාන කිරුළ දිනා ගැනීමට මැන්චෙස්ටර් සිටි (Manchester City) කණ්ඩායම සමත් විය.
තරගයේ 72 වැනි මිනිත්තුවේදී අර්ලින් හාර්ලන්ඩ් (Erling Haaland) ලබාදුන් දක්ෂ පන්දු යොමු කිරීමක්, චෙල්සි ගෝල රකින්නා වූ රොබර්ට් සැන්චෙස් (Robert Sanchez) පසුකරමින් ගෝලයක් බවට පරිවර්තනය කිරීමට මැන්චෙස්ටර් සිටි කණ්ඩායමේ ගානා ජාතික ක්‍රීඩක ඇන්ටොයින් සෙමෙන්යෝ (Antoine Semenyo) සමත් විය. මෙම තීරණාත්මක ගෝලයත් සමඟ එතෙක් ඉතා සෙමින් හා පරීක්ෂාකාරීව ඇදී ගිය තරගය දැඩි උණුසුම් මුහුණුවරක් ගත්තේය.
තරගයේ අවසන් මිනිත්තු 20 තුළ කණ්ඩායම් දෙකටම ගෝල ලබාගැනීමට තවත් අවස්ථා කිහිපයක්ම උදාවූ අතර, එහිදී මැන්චෙස්ටර් සිටි ක්‍රීඩක රයන් චර්කි (Rayan Cherki) එල්ල කළ ප්‍රහාරයක් වළක්වා ගැනීමට චෙල්සි ගෝල රකින්නා සමත් වූ අතර මතේවුස් නූනෙස් (Matheus Nunes) එල්ල කළ ප්‍රහාරය ගෝල කණුවේ වැදී ඉවතට ඇදී ගියේය.
මෙය මැන්චෙස්ටර් සිටි කණ්ඩායම ඉතිහාසයේ දිනාගත් 8 වැනි FA කුසලාන ජයග්‍රහණය වන අතර, මේ වසරේ මාර්තු මාසයේදී ඔවුන් දිනාගත් ලීග් කුසලාන (League Cup) ජයග්‍රහණයත් සමඟ මෙවර ද්විත්ව කුසලාන සූර්යයෙකු (English cup double) බවට පත්වීමට ද ඔවුහු සමත් වූහ.
















