තායිලන්තයේ බැංකොක් අගනුවරදී භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් සහ බස් රථයක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයන් 08 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් විශාල පිරිසක් බරපතළ තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අනාවරණය වී ඇති අන්දමට, අනතුර සිදුව ඇත්තේ අධික වාහන තදබදය මධ්‍යයේ අදාළ බස් රථය දුම්රිය මාර්ගය හරහා නතර වී තිබීම හේතුවෙනි. භාණ්ඩ ප්‍රවාහන දුම්රිය බස් රථයේ ගැටීමත් සමඟම බස් රථය තුළ ක්ෂණිකව දරුණු ගින්නක් හටගෙන තිබේ. මෙම අනතුර හේතුවෙන් ඒ අසල තිබූ තවත් මෝටර් රථ කිහිපයකට ද දැඩි හානි සිදු විය. සිද්ධියත් සමඟ වහාම ක්‍රියාත්මක වූ ගිනි නිවන අංශ දැඩි වෙහෙසක් දරා ගින්න මැඩපැවැත්වූ අතර, ඉන් අනතුරුවයි එහි සිරවී සහ තුවාල ලබා සිටි පුද්ගලයන් බේරාගැනීමේ මෙහෙයුම් ආරම්භ කෙරුණේ. සහන සේවා කටයුතු විධිමත්ව සිදු කිරීම සඳහා කණ්ඩායම් රැසක් අනතුර සිදුවූ ස්ථානයට කැඳවා තිබූ අයුරු විදෙස් මාධ්‍ය වාර්තා මඟින් වැඩිදුරටත් පෙන්වා දී ඇත.














