දකුණු කොරියානු ජනාධිපති ලී ජේ මියුන් (Lee Jae Myung) සහ ජපාන අගමැතිනී සනායි ටකායිචි (Sanae Takaichi) අතර විශේෂ රාජ්‍ය සමුළුවක් ලබන අඟහරුවාදා (මැයි 19) පැවැත්වීමට නියමිත බව දකුණු කොරියානු ජනාධිපති කාර්යාලය අද (17) නිල වශයෙන් නිවේදනය කළේය. දෙරට අතර පවතින අන්‍යෝන්‍ය විශ්වාසය සහ මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කරගැනීම සඳහා මෙම හමුව ඉතා වැදගත් අවස්ථාවක් වනු ඇති බව ද එහි සඳහන් වේ.මෙම සුවිශේෂී සමුළුව ජනාධිපති ලීගේ උපන්ගම වන “අන්දොං” (Andong) නගරයේදී පැවැත්වීමට නියමිතය. මීට පෙර පසුගිය ජනවාරි මාසයේදී ඔවුන්ගේ ප්‍රථම නිල හමුව අගමැතිනී ටකායිචිගේ උපන්ගම කේන්ද්‍ර කරගනිමින් ජපානයේදී පැවැත්වුණි. නිල රාජ්‍ය සංචාරයක් (State Visit) ලෙස සලකනු ලබන මෙම සංචාරය අතරතුර, ජපාන අගමැතිනිය වෙනුවෙන් විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයක් සහ සාම්ප්‍රදායික සංස්කෘතික ප්‍රසංග රැසක් ද සංවිධානය කර ඇති බව දකුණු කොරියානු වාර්තා වැඩිදුරටත් අනාවරණය කරයි.















