බ්‍රිතාන්‍ය අගමැති කීර් ස්ටාමර් (Keir Starmer) මහතා පක්ෂ නායකත්වයෙන් ඉවත් කිරීම සඳහා පැවැත්වෙන ඕනෑම තරඟයකට තමන් ඉදිරිපත් වන බව බ්‍රිතාන්‍යයේ හිටපු සෞඛ්‍ය ලේකම් (ඇමති) වෙස් ස්ට්‍රීටින් (Wes Streeting) මහතා සෙනසුරාදා (මැයි 16) නිල වශයෙන් ප්‍රකාශ කළේය. අගමැති ස්ටාමර්ට ධුරයෙන් ඉල්ලා අස්වන දිනයක් ප්‍රකාශ කරන ලෙස බලකරමින් ඔහු ඉකුත් දින කිහිපයකට පෙර සිය ඇමති ධුරයෙන් ද ඉල්ලා අස්විය.
ලේබර් (කම්කරු) පක්ෂයේ නවීකරණ පාර්ශ්වය නියෝජනය කරන ‘ප්‍රොග්‍රස්’ (Progress) කණ්ඩායමේ වාර්ෂික සමුළුව අමතමින් ස්ට්‍රීටින් මහතා කියා සිටියේ, පක්ෂය ඉදිරියට ගෙන යාම සඳහා හොඳම අපේක්ෂකයන් සහිත නිසි නායකත්ව තරඟයක් අවශ්‍ය බවත්, ඒ සඳහා තමන් අනිවාර්යයෙන්ම තරඟ වදින බවත්ය.
මෙහිදී තීරණාත්මක ප්‍රකාශයක් කරමින් ඔහු කියා සිටියේ, 2016 වසරේදී බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වීමට (Brexit) ගත් තීරණය “මහා ව්‍යසනකාරී වැරැද්දක්” වූ බවයි. මේ හේතුවෙන් කාර්මික විප්ලවයටත් පෙර පැවති යුගයට වඩා බ්‍රිතාන්‍යය ආර්ථික වශයෙන් දුර්වල වී ඇති බව පෙන්වා දුන් ඔහු, බ්‍රිතාන්‍යය නැවත වතාවක් යුරෝපා සංගමය (EU) සමඟ එක්විය යුතු බව දැඩිව අවධාරණය කළේය. කෙසේ වෙතත්, වත්මන් අගමැති කීර් ස්ටාමර් මීට පෙර බ්‍රෙක්සිට් ක්‍රියාවලියට විරුද්ධ වුව ද, දැනට අගමැතිවරයා ලෙස ඔහු නැවත යුරෝපා සංගමයට එකතු වීම හෝ සංක්‍රමණික නීති ලිහිල් කිරීම ප්‍රතික්ෂේප කර තිබේ.
පසුගිය සතියේ පැවැත්වුණු බ්‍රිතාන්‍ය පළාත් පාලන මැතිවරණයෙන් ලේබර් පක්ෂය ලැබූ දරුණු පරාජයත් සමඟ අගමැති ස්ටාමර්ට ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස බලපෑම් එල්ල වුව ද ඔහු එය ප්‍රතික්ෂේප කර ඇත. මේ අතර, මහා මැන්චෙස්ටර්හි නගරාධිපති ඇන්ඩි බර්න්හැම් (Andy Burnham) ද අගමැතිවරයාට අභියෝග කිරීමේ අරමුණින් නැවත පාර්ලිමේන්තුවට පැමිණීම සඳහා පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරයකට තරඟ වදින බව බ්‍රහස්පතින්දා ප්‍රකාශ කළේය. ලේබර් පක්ෂයේ නීතිවලට අනුව නායකත්ව තරඟයක් කැඳවීම සඳහා ඕනෑම අභියෝගකරුවෙකුට පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් අවම වශයෙන් 20%ක සහයෝගයක් හිමිවිය යුතුය.
















