මහා භාණ්ඩාගාරයේ තිබූ ඩොලර් ලක්ෂ විසිපහක මුදලක් අස්ථානගත වීමේ බරපතළ සිදුවීමෙන් පසුව, රාජ්‍ය මූල්‍ය පරිපාලනයේ පවතින දුර්වලතා වළක්වා ගැනීම සඳහා විපක්ෂයේ සිටින පළපුරුදු සහ දක්ෂ දේශපාලනඥයෙකු මූල්‍ය කටයුතු හසුරුවන අමාත්‍යාංශයකට සම්බන්ධ කරගැනීමට රජයේ බලවතුන් දැඩි උත්සාහයක නිරත වී ඇති බව දේශපාලන ආරංචි මාර්ග අනාවරණය කරයි. මේ අනුව, සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන එරාන් වික්‍රමරත්න මහතා වෙත රජයේ මැදිහත්වීමෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රධාන තනතුරක් පිරිනැමීමට ගෙන ඇති පියවර පිළිබඳව ද ආණ්ඩුව නියෝජනය කරන ජනතා විමුක්ති පෙරමුණේ (ජවිපෙ) ඇතැම් පිරිස් දැඩි නොසන්සුන්තාවකට පත්ව සිටිති. පාරම්පරික ජවිපෙ සාමාජිකයන් වන මෙම පිරිසට වුවමනා වී ඇත්තේ විපක්ෂයේ කිසිදු පාර්ශවයක් සම්බන්ධ කර නොගෙන ආණ්ඩුවේ කටයුතු තනිවම පවත්වාගෙන යාමට වුව ද, පවතින ආර්ථික තත්ත්වය හමුවේ දක්ෂයකු ලෙස ප්‍රකටව සිටින විපක්ෂයේ ප්‍රමුඛ පෙළේ මන්ත්‍රීවරයෙකු මෙන්ම මූල්‍ය කරුණු විග්‍රහ කරන තවත් මන්ත්‍රීවරුන් තිදෙනෙකු සමඟ ද රජය මේ වන විටත් දැඩි සබඳතාවක් පවත්වාගෙන යමින් සිටින බව හෙළිවේ.
ආණ්ඩුවේ සැලසුම වී තිබුණේ අදාළ ප්‍රමුඛ විපක්ෂ මන්ත්‍රීවරයා වෙත මුලින්ම මුදල් නියෝජ්‍ය ඇමැති ධුරය ලබා දීමටය. එහෙත්, අදාළ මන්ත්‍රීවරයා නියෝජ්‍ය ඇමතිකම් ප්‍රතික්ෂේප කරමින් කැබිනට් මුදල් ඇමැති ධුරයම ඉල්ලා ඇති අතර, ආණ්ඩුව ඊට පැකිළීමක් දැක්වීම නිසා ඔහු එම තනතුර භාර ගැනීමෙන් වැළකී සිටී. භාණ්ඩාගාරයේ මුදල් අතුරුදන් වීම පිළිබඳ පාර්ලිමේන්තු විවාදය පැවැති දිනයේදී මෙම මන්ත්‍රීවරයා විපක්ෂයෙන් ඉවත්ව ආණ්ඩු පක්ෂයේ අසුන් ගැනීමට සියල්ල සැලසුම් කර තිබුණ ද, අවසන් මොහොතේදී මෙම කැබිනට් ඇමැති ධුරයේ ප්‍රශ්නය මුල් කරගනිමින් ඔහු ආණ්ඩු පක්ෂයට පැමිණීම මඟහැර ඇත.
















