තිස් වසරක කුරිරු බෙදුම්වාදී යුද්ධයෙන් බැටකා උපන් බිමට අහිමි වීමට ගිය නිදහස සහ සාමය වෙනුවෙන් අප්‍රමාණ කැපකිරීම් කළ රණවිරුවන්ගේ අභිමානවත් මතකය යළි අවදි කිරීමට කාලය පැමිණ තිබේ. ඉතිහාසය අමතක නොකරන, තමන්ගේ හෘද සාක්ෂියට ගරු කරන සහ මව්බිමට සැබවින්ම ආදරය කරන සමස්ත ශ්‍රී ලාංකිකයන්ගේම අවධානය යොමු විය යුතු සුවිශේෂී ජාතික කර්තව්‍යයක් මේ වන විට සංවිධානය කර ඇත. යුද බිමේදී ජීවිත, අත් පා මෙන්ම දෑස් පවා අහිමි කරගනිමින් දේශයේ ඒකීයභාවය රැකගත් ඒ අසහාය වීරයන් වෙනුවෙන් සමස්ත ජාතියක් ලෙස කළගුණ සැලකීමේ උතුම් පියවරක් ලෙස මෙම මහා උපහාර උත්සවය පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
ඒ අනුව එළඹෙන 2026 මැයි මස 19 වන අඟහරුවාදා දින සවස 3.00 ට පැපිලියාන සුනේත්‍රාදේවි මහා පිරිවෙනේදී “රණවිරු උපහාර සතර මහා උත්තම පූජාව” ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට නියමිතය. මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි සහ මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි යන ගෞරවනීය මහා සංඝරත්නයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන මෙම පුණ්‍යකර්මයේදී සුවිශේෂී ආගමික වතාවත් රැසක් සිදුකෙරේ. එහිදී දිවි පිදූ රණවිරුවන්ට පින් පැමිණවීම සඳහා මතකවස්තු පූජාවක්, ආබාධිත රණවිරු පවුල්වලට සෙත් පතා මහා බෝධි පූජාවක් මෙන්ම ඔවුන් වෙනුවෙන් කැපකිරීම් කළ පවුල්වල සාමාජිකයන් වෙනුවෙන් පහන් පූජාවක් ද පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.
මීට අමතරව රණවිරුවන් දිවි හිමියෙන් ලබාදුන් විජයග්‍රහණය සහ නිදහස අහිමි කිරීමට මාන බලන ඕනෑම මහා පාවාදීමකට එරෙහිව ජාතියේ ඒකමතික විරෝධය පළකිරීමේ මහා පුණ්‍යකර්මයක් සහ ප්‍රකාශනයකට අත්සන් තැබීම ද එදිනට සැලසුම් කර තිබේ. ජාති, ආගම් භේදයකින් තොරව සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජනතාවට බියෙන් සැකෙන් තොරව ජීවත්වීමට මඟ පෑදූ මේ අභීත වීරයන් වෙනුවෙන් ගෞරව දැක්වීම ජීවත්ව සිටින සැමගේ පරම වගකීමකි. සොහොන් කොත් මත වැළලී යන්නට නොදී ඒ රණවිරු නාමයන් ඉතිහාසයේ රන් අකුරින් රන්වන් කිරීමටත්, දේශයේ ආරක්ෂාව වෙනුවෙන් පෙළගැසීමටත් මේ උතුම් පින්කමට එක්වන ලෙස සමස්ත ශ්‍රී ලාංකිකයන්ට ගෞරවයෙන් ආරාධනා කර සිටිමු.














