කැලණිය සහ වනවාසල දුම්රිය ස්ථාන අතර ඉකුත් 16 වනදා උදෑසන සිදුවූ දරුණු දුම්රිය පීලි පැනීමේ අනතුරට සෘජුවම වගකිව යුතු, දුම්රිය මාර්ගයේ ඇණ සහ කොටස් ගැලවූ සැකකරු මෙන්ම එම සොරාගත් භාණ්ඩ මිලදී ගත් වෙළඳසැල් හිමිකරු ද ගාලදිවුල්වැව පොලීසිය මෙන් නොව මෙවර බස්නාහිර පළාත උතුර අපරාධ අංශය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ. වනවාසල දුම්රිය අනතුර සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා අද (17) පැවැති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් බස්නාහිර පළාත උතුර නියෝජ්‍ය පොලිස්පති කාලිංග ජයසිංහ මහතා මේ බව අනාවරණය කළේය.
පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ හෙළි වී ඇත්තේ, දුම්රිය මාර්ගයේ කොටස් ගලවා සොරකම් කරන ලද 25 හැවිරිදි තරුණයා අධික ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවෙකු බවයි. ඔහු විසින් මෙරට දුම්රිය ඉතිහාසයේ දැවැන්තම විනාශයක් සිදුකරමින්, මගීන් රැසකගේ ජීවිත අනතුරේ හෙළමින් ගලවන ලද වටිනා දුම්රිය මාර්ග කොටස් සහ ඇණ කුඩු සල්ලි සොයාගැනීම වෙනුවෙන් ඉතාමත් සොච්චම් මුදලකට, එනම් රුපියල් 3,000ක වැනි සුළු මුදලකට අලෙවි කර ඇති බව පොලීසිය පවසයි. සැකකරුගෙන් ලද තොරතුරු මත එම භාණ්ඩ මිලදී ගත් ස්ථානය වටලා එහි අයිතිකරු ද මේ වන විට පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.
එමෙන්ම, සොරකම් කරන ලද පොදු දේපල බව දැන දැනම ඒවා මිලදී ගැනීම බරපතළ වරදක් බැවින්, භාණ්ඩ මිලදී ගත් වෙළඳසැල් හිමිකරුට එරෙහිව ද “සොරකම් කරන ලද භාණ්ඩ සන්තකයේ තබා ගැනීම” යටතේ නඩු පවරන බව හෙතෙම කියා සිටියේය. “මෙවැනි සොරුන්ගෙන් සුළු ලාභයක් තකා භාණ්ඩ මිලදී ගන්නා පුද්ගලයන් නිසා රටට සිදුවන විනාශය සුළුපටු නැහැ. සමහර විට අධිකරණයෙන් ඇප ලැබුණත්, අපි අත්අඩංගුවට ගෙන නීතිමය ක්‍රියාමාර්ග ගැනීම අත්හරින්නේ නැහැ” යැයි නියෝජ්‍ය පොලිස්පති කාලිංග ජයසිංහ මහතා වැඩිදුරටත් මාධ්‍ය හමුවේදී කියා සිටියේය.














