ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයේ ඉදිරි ගමන්මග සහ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡා පවත්වා ගැනීම සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) ඉහළ පෙළේ නියෝජිත පිරිසක් අද කොළඹදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වූහ. ඉම්රාන් කවාජා සහ දේවාජිත් සකියා යන මහත්වරුන්ගෙන් සමන්විත මෙම නියෝජිත පිරිස මෙරට ක්‍රිකට් පාලනයේ විනිවිදභාවය සහ පාලන ව්‍යුහය සම්බන්ධයෙන් රජය ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් කරුණු විමසා බැලූහ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවති පෙර පාලනාධිකාරිය ඉල්ලා අස්වීමෙන් පසු ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා විසින් පත් කරන ලද නව පාලනාධිකාරිය සමඟ ද ICC නියෝජිතයින් මීට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයේදී සාකච්ඡා පවත්වා තිබුණි. විශේෂයෙන්ම එරාන් වික්‍රමරත්න මහතාගේ සභාපතිත්වයෙන් යුත් නව දෙනෙකුගෙන් සමන්විත ‘ක්‍රිකට් පරිවර්තන කමිටුව’ හරහා සිදුකිරීමට නියමිත ප්‍රතිසංස්කරණ පිළිබඳව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දැඩි අවධානය යොමු වී ඇත. නව මැතිවරණයක් පවත්වන තෙක් ක්‍රිකට් පරිපාලනය මෙහෙයවීමට සහ අවශ්‍ය ව්‍යුහාත්මක වෙනස්කම් සිදු කිරීමට මෙම කමිටුවට බලතල පවරා තිබේ.
මෙම සංචාරය ශ්‍රී ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගත පරිපාලන ස්වරූපය තීරණය කරන තීරණාත්මක අවස්ථාවක් ලෙස සැලකෙන අතර ජනාධිපතිවරයා සමඟ පැවැති මෙම හමුව හරහා ක්‍රිකට් ක්‍රීඩාවේ ස්වාධීනත්වය සහ යහපාලනය තහවුරු කිරීමට අවශ්‍ය මගපෙන්වීම් ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.














