කොළඹ ජාතික රෝහලේ රෝගී ප්‍රතිකාර සේවා, පරිපාලන කටයුතු සහ දැනට පවතින විවිධ අඩුපාඩු සඳහා කඩිනම් විසඳුම් ලබාදීමේ අරමුණින් නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජයමුණි මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා. රෝහල් පාලනාධිකාරිය සහ විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන් පැවති මෙම හමුවේදී රෝහලේ පවතින වෛද්‍ය උපකරණ සහ ඖෂධ හිඟය මෙන්ම මානව සම්පත් කළමනාකරණය වැනි ප්‍රධාන ගැටලු පිළිබඳව දැඩි අවධානයක් යොමු කෙරුණා.
මෙහිදී අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ඖෂධ සැපයුම සහ හදිසි මිලදී ගැනීම් සඳහා පෙර වසරවලට වඩා වැඩි මුදලක් රජය විසින් වෙන් කර තිබියදීත්, රෝහල තුළ තවමත් ඖෂධ හිඟයක් පවතින බවට වාර්තා වීම පිළිබඳවයි. මෙම තත්ත්වය මගහරවා ගනිමින් මහජනතාවට හිමි නිදහස් සෞඛ්‍ය සේවාව උපරිම ගුණාත්මක භාවයෙන් යුතුව ලබාදීම සියලු දෙනාගේ වගකීමක් බව ඔහු අවධාරණය කළා. රෝහලේ ඉදිරි සංවර්ධන වැඩකටයුතු සහ මහජන පැමිණිලි සම්බන්ධයෙන් ද මෙහිදී විශේෂ අවධානයක් යොමු වූ අතර, පවතින අඩුපාඩු මගහරවා ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග වහාම ක්‍රියාත්මක කරන ලෙස ද උපදෙස් ලබා දී තිබෙනවා.














