මල්වානේ පිහිටි අක්කර 16ක භූමිය තුළ අඛණ්ඩව සිව්වන දිනටත් සිදුකරගෙන යන අරගල භූමියෙන් තමන් ඉවත් වන්නේ නම්, ඒ සඳහා බලධාරීන්ගෙන් ලිඛිත හෝ නිශ්චිත සහතිකයක් ලැබිය යුතු බව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණඩලයේ (අන්තරේ) කැඳවුම්කරු සසිඳු පෙරේරා අවධාරණය කරයි. බැසිල් රාජපක්ෂ මහතාට අයත් යැයි මුලින් පැවසුව ද පසුව අධිකරණ අමාත්‍යාංශය යටතට පවරා තිබෙන මෙම රජයේ දේපළ, ශිෂ්‍යයන් විසින් මෙලෙස බලහත්කාරයෙන් අත්පත් කර ගැනීමට එරෙහිව මේ වන විට සමාජයේ විවිධ පාර්ශ්වයන්ගෙන් දැඩි විරෝධයක් ද එල්ල වෙමින් පවතී.
තමන් මෙම අරගලය ආරම්භ කරනු ලැබුවේ සමස්ත රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය පුළුල් කරන ලෙස ආණ්ඩුවට බල කිරීමට වුවත්, මේ වන විට ආණ්ඩුව මෙන්ම විපක්ෂය ද එකම පැත්තක සිටගනිමින් ශිෂ්‍යයින්ට එරෙහිව පැමිණිලි ඉදිරිපත් කරමින් සිටින බව කැඳවුම්කරු පවසයි. මේ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලයේ මැදිහත්වීම මත අද (18) දිනයේදී විශේෂ සාකච්ඡාවක් ලබා දී ඇති අතර, එහිදී මල්වාන භූමිය නිල වශයෙන් විශ්වවිද්‍යාල පද්ධතියට පවරා දීම සහ රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය පුළුල් කිරීම සම්බන්ධයෙන් සහතික කළ පිළිතුරක් රජය විසින් ලබාදිය යුතු බව ඔහු සඳහන් කරයි.
අදාළ සාකච්ඡාවේදී ශිෂ්‍යයන් අපේක්ෂා කරන නිසි තීන්දුවක් නොලැබුණහොත් හෝ බලධාරීන් විසින් නැවත වතාවක් ශිෂ්‍යයන් මඟහැරීමට කටයුතු කළහොත්, දැනට තාවකාලිකව අත්හිටුවා ඇති දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ග සහ සමස්ත රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියම ඒකරාශී කරමින් දැවැන්ත විරෝධතා මාලාවක් නැවත ආරම්භ කරන බවට ද සසිඳු පෙරේරා මහතා මෙහිදී අනතුරු ඇඟවීය.














