රඹුක්කන සිට කළුතර බලා ධාවනය වෙමින් තිබූ මන්දගාමී දුම්රියක් වනවාසල දුම්රිය ස්ථානය අසලදී බරපතළ පීලි පැනීමකට ලක්වීමෙන් මඟීන් 12 දෙනෙකු තුවාල ලබා, දුම්රිය දෙපාර්තමේන්තුවට කෝටි ගණනක දේපළ හානි සිදුව තිබේ. පෑලියගොඩ පොලිසියේ අපරාධ විමර්ශන අංශය මඟින් සිදුකළ ක්ෂණික පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ, අධික ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ වනවාසල ප්‍රදේශයේ 27 හැවිරිදි තරුණයෙකු විසින් දුම්රිය සංඥා නිකුත් කරන සහ පීලි මාරු කරන “මෝටර් පොයින්ට්ස්” උපකරණයේ තිබූ ප්‍රධාන යකඩ ලිවර් පටි ගලවා කුඩු සල්ලි සෙවීම සඳහා වත්තල ප්‍රදේශයේ යකඩ කඩයකට රුපියල් 2400කට විකිණීම මෙම මහා අනතුරට හේතුව වී ඇති බවයි. සැකකරුගේ නිවස පරීක්ෂා කිරීමේදී ඉතිරි යකඩ පටි 3ක් සහ ඒවා ගැලවීමට යොදාගත් ආයුධ ද පොලීසිය විසින් සොයාගෙන ඇත.
ඉකුත් සෙනසුරාදා උදෑසන 5.20ට වනවාසල ස්ථානයෙන් ගමන් ආරම්භ කළ දුම්රියේ මැදිරි දෙකක් පීලිවලින් ඉවතට පැන පෙරළී ගොස් ඇති අතර, දුම්රිය මන්දගාමීව ධාවනය වූ බැවින් මඟීන්ගේ ජීවිත වාසනාවන්ත ලෙස බේරී තිබේ. අනතුරෙන් රුපියල් 15,000කට අධික වටිනාකමකින් යුත් දුම්රිය කොන්ක්‍රීට් පීලි 70කට පමණ සහ අසල නවතා තිබූ මෝටර් රථයකට බරපතළ හානි සිදු වී ඇත. දුම්රිය ඉංජිනේරුවන් සහ කාර්මිකයන් 25කට අධික පිරිසක් දොඹකර ආධාරයෙන් මැදිරි පීලිගත කර මාර්ගය යථා තත්ත්වයට පත් කිරීමට පියවර ගත්හ. මිනී මැරීමට තැත් කිරීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගත් මෙම මත්ලෝලියා සහ සොර බඩු මිලදී ගත් යකඩ කඩ හිමියාව මැයි 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් නුවන් කෞශල්‍ය මහතා ඊයේ (17) නියෝග කළේය.














