ඉරානයට එරෙහිව ගත හැකි දැඩි හමුදාමය ක්‍රියාමාර්ග සහ ඉදිරි උපායමාර්ගික සැලසුම් පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා එරට ඉහළ පෙළේ හමුදා ප්‍රධානීන් සමඟ විශේෂ හමුවක් පවත්වා තිබේ. ඇමෙරිකානු මාධ්‍ය වාර්තාවලට අනුව ඊයේ (18) පැවැති මෙම තීරණාත්මක සාකච්ඡාව සඳහා පෙන්ටගනයේ ඉහළම ප්‍රධානීන් මෙන්ම ඇමෙරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සිත් (Pete Hegseth) මහතා ද සෘජුවම සහභාගී වී ඇත.
මෙහිදී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ඉරාන පාලනාධිකාරිය වෙත දැඩි අනතුරු ඇඟවීමක් කරමින් කියා සිටියේ, කඩිනමින් සටන් විරාමයකට එළඹෙමින් ඇමෙරිකාව සමඟ පැහැදිලි සහ ස්ථාවර එකඟතාවකට පැමිණීම සඳහා තමන් ලබාදී තිබූ කාල සීමාව මේ වන විට ශීඝ්‍රයෙන් අවසන් වෙමින් පවතින බවයි. පවතින රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ අවස්ථාවන් අවසන් වීමට පෙර ඉරානය සිය ස්ථාවරය ප්‍රකාශ කරමින් අවසන් තීරණයක් ගත යුතු බවත්, එසේ නොමැති වුවහොත් පෙන්ටගනය සමඟ සාකච්ඡා කළ පරිදි දැඩි හමුදාමය ප්‍රතිචාරයකට මුහුණ දීමට සිදුවනු ඇති බවත් ඇමෙරිකානු ජනාධිපතිවරයා වැඩිදුරටත් දැනුම් දී ඇත.














