“දිට්වා” සුළි කුණාටු (Cyclone Ditva) තත්ත්වය හේතුවෙන් දිවයින පුරා බරපතළ ලෙස ආපදාවට සහ විපතට පත්වූ ජනතාවට කඩිනමින් සහ කාර්යක්ෂමව සහන මෙන්ම සහයෝගය සැලසීම වෙනුවෙන් විශේෂයෙන්ම නිර්මාණය කරන ලද ප්‍රධාන ඩිජිටල් පද්ධති (Digital Systems) දෙකක් නිල වශයෙන් හඳුන්වාදීම අද (18) කොළඹදී සාර්ථකව සිදුකෙරුණා. මෙම සුවිශේෂී තාක්ෂණික පද්ධති ද්විත්වය එළිදැක්වීම සිදුවූයේ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතාගේ සෘජු ප්‍රධානත්වයෙන් සහ සහභාගීත්වයෙන් යුතුවය.
එහිදී ආපදා කළමනාකරණ ක්‍රියාවලිය වඩාත් විනිවිදභාවයකින් යුතුව සිදුකිරීම සඳහා “වන්දි කළමනාකරණ පද්ධතිය” (Compensation Management System) සහ විපතට පත් ජනතාවගේ සැබෑ අවශ්‍යතා නිවැරදිව හඳුනාගැනීම වෙනුවෙන් “ප්‍රජා විමර්ශන යාන්ත්‍රණය” (Community Investigation Mechanism) මෙලෙස නව ඩිජිටල් පද්ධති ලෙස නිල වශයෙන් රාජ්‍ය පරිපාලන ව්‍යුහයට හඳුන්වා දෙනු ලැබුවා. මෙම පද්ධති මඟින් ආපදාවට ලක්වූවන්ට ප්‍රමාදයකින් තොරව සහන සැලසීමට හැකිවන බව මෙහිදී අවධාරණය කෙරුණා. මීට අමතරව, ජාතික වගකීමක් ලෙස සලකා මෙම අත්‍යවශ්‍ය ඩිජිටල් පද්ධති ඉතා කෙටි කාලයක් තුළ සාර්ථකව නිර්මාණය කිරීම සඳහා සිය ශ්‍රමය හා තාක්ෂණික දායකත්වය සැපයූ දක්ෂ ස්වේච්ඡා සේවකයන් (Volunteers) සහ රාජ්‍ය නිලධාරීන් ඇගයීමට ලක් කරමින් ඔවුන් වෙත උපහාර පිදීම ද නියෝජ්‍ය අමාත්‍යවරයාගේ සුරතින් මෙම උත්සවයේදී සුවිශේෂී ලෙස සිදුකෙරුණා.














