දූෂණ හා මූල්‍ය අක්‍රමිකතා චෝදනා එල්ල වී ඇති පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාට එරෙහිව පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ලිහිල් කිරීමට කොළඹ මහාධිකරණය අද (18) නියෝග කළේය. මෙම නඩුව අද දින මෝසමක් (Motion) මාර්ගයෙන් අධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී විත්තිකාර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සෘජුවම අධිකරණය හමුවේ පෙනී සිටියේය.
එහිදී විත්තිකාර චාමර සම්පත් දසනායක මහතාට විශේෂ විදේශ සංචාරයක නිරත වීමට අවශ්‍යතාවක් පැනනැඟී ඇති බැවින්, ඔහුට පනවා තිබෙන විදේශ ගමන් තහනම (Travel Ban) තාවකාලික කාලසීමාවක් සඳහා ලිහිල් කරන ලෙස විත්ති පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය. ඒ අනුව ඉදිරිපත් වූ කරුණු සහ නීතිමය ප්‍රතිපාදන මැනවින් සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා, අදාළ විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවත් කිරීමට නියෝග කළේය.
පසුගිය 2016 වසරේ ඌව පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ, එම පළාත් සභාව වෙනුවෙන් රේඛනය කර (Crossed) තිබූ රජයේ චෙක්පතක් නීති විරෝධී ලෙස සිය පුද්ගලික බැංකු ගිණුමකට තැන්පත් කරගනිමින් මහජන මුදල් අවභාවිත කර ‘දූෂණය’ නමැති බරපතළ වරද සිදුකළ බවට චෝදනා කරමින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් චාමර සම්පත් දසනායක මහතාට එරෙහිව මෙම නඩුව පවරා ඇත.














