පසුගිය අප්‍රේල් මාසය අවසන් වනවිට මෝටර් රථ ඇතුළු වාහන 1,78,000ක් ලංකාවට ගෙන්වා ඇති බව මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා අද (19) පාර්ලිමේන්තුවේදී පැවසීය. අපේක්ෂා කළාට වඩා වැඩි වාහන ප්‍රමාණයක් මෙලෙස ආනයනය කර ඇති බවත්, අලුතින් පැනවූ ආනයන අධිභාරය දැනට ගෙන්වා ඇති වාහන සඳහා බලනොපාන බවත් ඔහු අවධාරණය කළේය.
මැයි 16 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි පුද්ගලික වාහන ආනයන (ත්‍රීරෝද රථ සහ මෝටර් සයිකල් හැර) තීරු බද්ද මත සියයට 15ක අධිභාරයක් අය කෙරේ. මෙම තීරණය වාණිජ වාහන, බස් රථ හෝ ලොරි රථ සඳහා බලනොපාන අතර එය ක්‍රියාත්මක වන්නේ මාස තුනක කාලයකට පමණි. විදේශ විනිමය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් පුද්ගලික වාහන ආනයනය මාස තුනකට ප්‍රමාද කරගැනීම මෙහි අරමුණයි.
දැනට ගෙන්වා ඇති වාහනවල සහ මැයි 15 වැනිදා දක්වා ණයවර ලිපි (LC) විවෘත කළ වාහනවල වෙළඳපොළ මිල වැඩිවීමක් සිදුනොවිය යුතුය. යම් හෙයකින් මිල වැඩි කරන්නේ නම් එය වෙළඳපොළ විකෘතියක් සහ අවස්ථාවාදී හැසිරීමක් බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
රාජ්‍ය ආදායම වැඩි කර ඇත්තේ අතිරේක බදු පැනවීමෙන් නොව බදු අනුකූලතාව වැඩි කිරීමෙන් බවත්, කලින් ආණ්ඩු මෙන් දූෂණයට ඉඩ නොතබා නිසි ලෙස බදු එකතු කිරීමට වත්මන් රජය සමත් වී ඇති බවත් ඔහු පැවසීය. ණය අරගෙන සහනාධාර දිය නොහැකි බවත්, මැදපෙරදිග පවතින තත්ත්වය හේතුවෙන් ඉන්ධන සහනාධාර වෙනුවෙන් අතිරේකව බිලියන 100ක් වෙන් කිරීමට සිදුවූ බවත් හෙතෙම සඳහන් කළේය. කෙසේ වෙතත් විදුලි ඒකක 180ට අඩු පාරිභෝගිකයන්ගේ විදුලි බිල වැඩි කර නොමැති බව ද ඔහු මතක් කර සිටියේය.
අවිධිමත් ශුද්‍ර මූල්‍ය ආයතන සහ ග්‍රාමීය කාන්තාවන්ගේ අඩු මූල්‍ය සාක්ෂරතාවය හේතුවෙන් ග්‍රාමීය ජනතාව ණය උගුල්වල හිරවී ඇති බව පැවසූ අමාත්‍යවරයා, ග්‍රාමීය දරිද්‍රතාවය තුරන් කිරීමට පියවර ගන්නා නමුත් එය වසරකින් නිමා කළ නොහැකි බව ද වැඩිදුරටත් ප්‍රකාශ කළේය.














