ගල් අඟුරු ප්‍රවාහන නෞකා සඳහා කිසිදු ප්‍රමාද ගාස්තුවක් (Demurrage charges) ගෙවීමට රජයට සිදු වී නැතැයි බලශක්ති සහ වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පවසයි. ඇතැම් පාර්ශ්ව ගල් අඟුරු ගොඩබෑම සම්බන්ධයෙන් ව්‍යාජ තොරතුරු ප්‍රචාරය කරන බව පෙන්වා දුන් අමාත්‍යවරයා, මේ හේතුවෙන් ලංකා ගල් අඟුරු සමාගමට හෝ විදුලි පාරිභෝගිකයන්ට කිසිදු අතිරේක පිරිවැයක් පැටවෙන්නේ නැති බව ද අවධාරණය කළේය. අද (19) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැහැදිලි කළේය.
ටෙන්ඩර් පටිපාටියට අනුව අදාළ සමාගම් වෙත නෞකා පැමිණිය යුතු කාලසීමා පෙරදැනුම් දී තිබුණ ද, විවිධ හේතු මත නෞකා කිහිපයක් නියමිත දිනවලදී මෙරටට නොපැමිණි බව අමාත්‍යවරයා මෙහිදී දත්ත සහිතව අනාවරණය කළේය. ඒ අනුව 15 වැනි නෞකාව මාර්තු 03 පැමිණීමට තිබුණ ද පැමිණියේ අප්‍රේල් 08 දාය. 16 වැනි නෞකාව මාර්තු 08 පැමිණීමට තිබුණ ද පැමිණියේ අප්‍රේල් 12 දාය. 17 වැනි නෞකාව මාර්තු 13 පැමිණීමට තිබුණ ද පැමිණියේ අප්‍රේල් 29 දාය. 18 වැනි නෞකාව මාර්තු 18 පැමිණීමට තිබුණ ද පැමිණියේ අප්‍රේල් 18 දාය. එමෙන්ම 19 වැනි නෞකාව මාර්තු 29 පැමිණීමට තිබුණ ද පැමිණියේ මැයි 02 දා වන අතර, හදිසි මිලදී ගැනීම් යටතේ 1 වැනි නෞකාව අප්‍රේල් 20 පැමිණීමට තිබුණ ද එය මෙරටට ළඟා වී ඇත්තේ අප්‍රේල් 26 දාය.
නියමිත දිනයේ නෞකාවක් වරායට පැමිණි පසු, එහි ගොඩබෑමේ කටයුතු ආරම්භ කිරීම ප්‍රමාද වුවහොත් පමණක් ප්‍රමාද ගාස්තු ගෙවීමට සිදුවන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. නමුත් මෙහිදී ප්‍රමාද වී ඇත්තේ නෞකා මෙරටට පැමිණීම වන අතර, දැනට පැමිණ ඇති සියලු නෞකාවල ගල් අඟුරු ගොඩබෑමේ කටයුතු මේ වන විටත් සාර්ථකව සිදුකෙරෙමින් පවතී.
එසේම, වාරකන් සමයේ මුහුද රළු වීම හේතුවෙන් ගල් අඟුරු ගොඩබෑමේ කටයුතු සැප්තැම්බර් මාසය දක්වා යම් ප්‍රමාදයකින් සිදුවිය හැකි බවත්, ඒ පිළිබඳව අදාළ සැපයුම්කාර සමාගම් දැනුවත් කර ඇති බවත් අමාත්‍යවරයා පැවසීය. එම තත්ත්වයට අදාළ නෛතික වගකීම් භාර ගැනීමට ද අදාළ සමාගම් සිය එකඟතාව පළ කර ඇත.












