එක්සත් රාජධානිය (UK) විසින් ඩොලර් බිලියන 6කට වඩා වැඩි විදේශ ආධාර කප්පාදුවක් තහවුරු කිරීමත් සමඟ, එහි බරපතලම බලපෑම පාකිස්ථානයට සහ මොසැම්බික් රාජ්‍යයට එල්ල වී ඇති බව වාර්තා වේ.
නව තීරණයට අනුව බ්‍රිතාන්‍යය 2027 වන විට සිය සංවර්ධන වියදම් දළ දේශීය නිෂ්පාදිතයේ (GDP) ප්‍රමාණයෙන් 0.5% සිට 0.3% දක්වා අඩු කිරීමට නියමිතය. කොවිඩ්-19 වසංගතයට පෙර බ්‍රිතාන්‍යය විදේශ ආධාර සඳහා සිය GDP අගයෙන් 0.7%ක් වෙන් කර තිබුණි.
බ්‍රිතාන්‍ය විදේශ ලේකම් ඉවෙට් කූපර් පාර්ලිමේන්තුවට ප්‍රකාශ කළේ, යුක්රේන යුද්ධය සහ අනෙකුත් ගෝලීය තර්ජන හමුවේ බ්‍රිතාන්‍යයේ ආරක්ෂක අයවැය වෙත ප්‍රතිපාදන යොමු කිරීම සඳහා මෙම “දුෂ්කර තේරීම්” සිදු කිරීමට රජයට සිදුවූ බවයි. සීතල යුද්ධයෙන් පසුව බ්‍රිතාන්‍ය ආරක්ෂක වියදම්වල විශාලතම වැඩිවීම පසුගිය වසරේදී සිදුකර ඇත්තේ ද මෙම පදනම මතය.
ද්විපාර්ශ්වික ආධාර සැකසුම් යටතේ සිදුකෙරෙන මෙම කප්පාදුව නිසා පාකිස්ථානය සහ මොසැම්බික් රාජ්‍යයේ සෘජු ආධාර ප්‍රතිපාදන සැලකිය යුතු ලෙස අඩු කෙරේ. මීට අමතරව යේමනය, සෝමාලියාව සහ ඇෆ්ගනිස්ථානය ද මෙම ආධාර කප්පාදුවලට මුහුණ දෙනු ඇත.
ආධාර කප්පාදු වන රටවල්වලට තමන් විසින්ම අරමුදල් රැස්කර ගැනීමට උපකාර කිරීම වෙනුවෙන් “ආයෝජන සඳහා වන හවුල්කාරිත්වයන්” පුළුල් කිරීමට බ්‍රිතාන්‍ය රජය සැලසුම් කර ඇත. එසේම, පෝලියෝ වැනි බෝවන රෝග මර්දන වැඩසටහන් සඳහා ඉදිරියේදී බහුපාර්ශ්වික එන්නත් වැඩසටහන්වලට වැඩි වගකීමක් භාර ගැනීමට සිදුවනු ඇතැයි ද විදේශ ලේකම්වරිය වැඩිදුරටත් සඳහන් කළාය.












