2026 වෙසක් උත්සවය නිමිත්තෙන් සංවිධානය කෙරෙන “බුද්ධාභිවන්දනා” වෙසක් කලාපය එළඹෙන මැයි 30 වැනිදා සිට ජූනි 02 වැනිදා දක්වා පානදුර නගරය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට කටයුතු යොදා තිබේ. බෞද්ධ ශාසනාරක්ෂක බලමණ්ඩලවල මූලිකත්වයෙන්, රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල එකමුතුවෙන් මෙය සංවිධානය කෙරේ.
වෙසක් සතියට සමගාමීව පාසල් දරුවන් වෙනුවෙන් සාරධර්ම අගයන විශේෂ දේශනා මාලාවක් මුලින්ම පැවැත්වීමට නියමිතය. අනතුරුව මැයි 30 වැනි වෙසක් පොහෝ දින, පානදුර ගල්ගොඩ ශ්‍රී මහා විහාරස්ථානය මූලික කරගනිමින් ප්‍රදේශයේ සියලු විහාරස්ථානයන්හිදී මහජනතාව වෙනුවෙන් ශීල භාවනා වැඩසටහන් පැවැත්වේ.
පානදුර රන්කොත් විහාරස්ථානයේදී සර්වඥ ධාතු ප්‍රදර්ශනයක් සහ ආශීර්වාද බෝධි පූජාවක් පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත. මීට අමතරව මැයි 31 සිට ජූනි 02 දක්වා පානදුර නගරය සම්පූර්ණයෙන්ම ආවරණය වන පරිදි විශේෂ ආලෝක පූජා, වෙසක් තොරණ සහ දන්සල් රැසක් ද ක්‍රියාත්මක වේ.
මැයි 31 වැනිදා සවස පානදුර උතුර හා දකුණු ශාසනාරක්ෂක බලමණ්ඩලවල මෙහෙයවීමෙන් දහම් පාසල් දරුවන්ගෙන් සමන්විත සාරධර්ම පෙරහැර දෙකක් පානදුර නගරයට ළඟා වීමට නියමිතය. එමෙන්ම එදින සිට ජූනි 02 දක්වා නගර මධ්‍යයේදී වෙසක් සැදැහැ ගී වැඩසටහන් මාලාවක් ද, සුදර්ශන දේවාරාමය ඇතුළු තෝරාගත් ස්ථාන කිහිපයකදී විශේෂ පහන් කූඩු ප්‍රදර්ශනයක් ද පැවැත්වේ.












