2030 වසර වන විට ලොව පුරා ළමා පිළිකා රෝගීන්ගේ දිවි ගලවා ගැනීමේ අනුපාතය අවම වශයෙන් 60% දක්වා ඉහළ නැංවීමට ලෝක සෞඛ්‍ය සංවිධානයේ 79 වැනි ලෝක සෞඛ්‍ය සමුළුවේදී (WHA79) ගෝලීය සෞඛ්‍ය නායකයෝ ප්‍රතිඥා දී තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ටෙඩ්‍රොස් ඇඩනොම් ගෙබ්‍රෙයෙසස් මහතාගේ ප්‍රධානත්වයෙන් සහ සාමාජික රටවල් 194ක නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් මෙම සමුළුව ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි ලෝක සෞඛ්‍ය සංවිධාන මූලස්ථානයේදී පැවැත්වේ.
මෙම සමුළුවට සමගාමීව ළමා පිළිකා මර්දනය සඳහා වන ලෝක සෞඛ්‍ය සංවිධානයේ ගෝලීය මුලපිරීම (WHO GICC) විසින් සංවිධානය කරන ලද විශේෂ සැසිය ඇමතූ ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කියා සිටියේ, පිළිකා කලින් හඳුනා ගැනීම සහ ප්‍රතිකාර ක්‍රමවල දියුණුව හේතුවෙන් ලොව පුරා පිළිකාවෙන් ජීවිතය රැකගන්නා දරුවන්ගේ සංඛ්‍යාව ඉහළ යෑම ගෝලීය වශයෙන් ලැබූ විශිෂ්ට ජයග්‍රහණයක් බවයි.
ළමා පිළිකා සම්බන්ධයෙන් සාර්ථකත්වයේ සැබෑ මිනුම වන්නේ කොපමණ දරුවන් පිරිසක් ජීවිතය රැකගන්නේද යන්න පමණක් නොව ඔවුන් ජීවත්වන ආකාරය ද වන බවත්, පිළිකාවෙන් ජීවිතය ජයගත් සෑම දරුවකුටම සෞඛ්‍යසම්පන්න මෙන්ම ගෞරවනීය ජීවිතයක් ගත කිරීමට අවස්ථාව ලබාදීම සැමගේ සාමූහික වගකීමක් බවත් ඇමැතිවරයා මෙහිදී අවධාරණය කළේය. ශ්‍රී ලංකාවේ ජාතික සෞඛ්‍ය පද්ධතිය ‘සියලු දෙනාට නොමිලේ සෞඛ්‍ය සේවා සැපයීමේ’ මූලධර්මය මත ගොඩනැඟී ඇති බැවින්, පිළිකා හඳුනා ගැනීම, ප්‍රතිකාර මෙන්ම මානසික සහය දක්වා සියලු සේවාවන් සාධාරණව ලබාදීමට ශක්තිමත් පදනමක් පවතින බව ද ඔහු පෙන්වා දුන්නේය.
ළමා පිළිකාවෙන් ජීවිතය ජයගත් දරුවන්ට හෘදය ආශ්‍රිත සංකූලතා, ඉගෙනීමේ අපහසුතා සහ මානසික සෞඛ්‍ය ගැටලු වැනි දිගුකාලීන ප්‍රතිවිපාක ඇතිවිය හැකි බැවින්, රෝහල්වලට පමණක් සීමා නොවී ප්‍රාථමික සෞඛ්‍ය සේවා, පාසල් සහ පවුල් සම්බන්ධ කරගත් අඛණ්ඩ සත්කාර පද්ධතියක අවශ්‍යතාව ඇමැතිවරයා වැඩිදුරටත් විස්තර කළේය. මේ සඳහා වෛද්‍ය නිලධාරී සෞඛ්‍ය සේවා (MOH), මහජන සෞඛ්‍ය හෙද සේවා සහ ‘ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන’ හරහා ශ්‍රී ලංකාව දැනටමත් ප්‍රජා මට්ටමින් විවිධ පියවර ගෙන ඇති බව ද ඔහු සඳහන් කළේය.














