තමන්ගේ රියැදුරු බලපත්‍රයේ (Driving License) ඇස් කණ්ණාඩි පැලඳීම අනිවාර්ය කර තිබියදීත්, ඇස් කණ්ණාඩි නොමැතිව රිය පදවන පුද්ගලයන්ට එරෙහිව තරාතිරම නොබලා තදින්ම නීතිය ක්‍රියාත්මක කරන බව පොලිස් රථවාහන මූලස්ථානය නිවේදනය කරයි.
රථවාහන හා මාර්ග ආරක්ෂක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පී.ජේ. සේනාධීර මහතා සඳහන් කළේ, මීට පෙර මෙලෙස ඇස් කණ්ණාඩි නොමැතිව රිය පදවන රියැදුරන් හසුවූ විට ඔවුන්ට සාමාන්‍ය දඩකොළයක් (Fine Sheet) නිකුත් කළ ද, මේ වන විට එම ක්‍රමවේදය වෙනස් කර ඔවුන්ව සෘජුවම අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවයි.
වර්තමාන සමාජය තුළ රිය අනතුරු සීඝ්‍රයෙන් ඉහළ යාමට රියැදුරන්ගේ පෙනීමේ දුර්වලතා ද ප්‍රධාන හේතුවක් වී ඇති බව නියෝජ්‍ය පොලිස්පතිවරයා පෙන්වා දෙයි. රියැදුරු බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රියාවලියේදී ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය මඟින් පූර්ණ ඇස් පෙනීම පරීක්ෂා කරනු ලබන අතර, පෙනීම දුර්වල පුද්ගලයන්ට රිය පැදවීමේදී ඇස් කණ්ණාඩි පැලඳීම අනිවාර්ය කරමින් විශේෂ වෛද්‍ය සහතික නිකුත් කරනු ලැබේ.
ඒ අනුව, එවැනි පුද්ගලයන්ට නිකුත් කරන රියැදුරු බලපත්‍රයේ ඇස් කණ්ණාඩියක සලකුණක් හෝ විශේෂ කේතයක් (Restriction Code) සටහන් කරනු ලබන බවත්, මාර්ගයේදී පොලිස් නිලධාරීන් විසින් රියැදුරු බලපත්‍ර පරීක්ෂා කිරීමේදී ඒ පිළිබඳව දැඩි අවධානයක් යොමු කරන බවත් පොලිසිය වැඩිදුරටත් කියා සිටියි.














