ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය තවදුරටත් අවප්‍රමාණය වුවහොත්, ලබන ජූලි මාසයේදී සිදුකිරීමට නියමිත වාර්ෂික බස් ගාස්තු සංශෝධනයේදී අවම බස් ගාස්තුව රුපියල් 40ක් දක්වා ඉහළ දැමීමට සිදුවනු ඇතැයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ (LPBOA) සභාපති ගැමුණු විජේරත්න මහතා අනතුරු අඟවා සිටියි. අද (20) මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ඔහු මේ බව සඳහන් කළේය.
වාර්ෂික බස් ගාස්තු සංශෝධනය ප්‍රධාන නිර්ණායක 12ක් පදනම් කර ගනිමින් සිදුකරන බව පෙන්වා දුන් සභාපතිවරයා, කොළඹ පාරිභෝගික මිල දර්ශකය, ඇමෙරිකානු ඩොලර් විනිමය අනුපාතිකය, බැංකු පොලී අනුපාත සහ වෙළෙඳපොළේ බස් රථවල මිල ගණන් ඒ අතර ප්‍රධාන වන බව ප්‍රකාශ කළේය. දේශීය මුදලේ අගය මෙලෙස දිගින් දිගටම පහත වැටීම ප්‍රවාහන පිරිවැය ඉහළ යාමට සෘජුවම බලපාන බවත්, මෙම තත්ත්වය මේ වන විට බස් රථ හිමියන්ට මෙන්ම මගී ජනතාවට ද එකලෙස දැඩි බලපෑමක් එල්ල කරන බරපතළ ගැටලුවක් වී ඇති බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.














