තිස් වසරක කුරිරු ත්‍රස්තවාදී යුද සාපයෙන් රට මුදවා ගැනීම වෙනුවෙන් සිය ජීවිත, ඇස්, හිස්, මස්, ලේ දන් දුන් ශ්‍රී ලංකාවේ ගෞරවනීය රණවිරුවන් වෙනුවෙන් සිය උපරිම උපහාරය පුදකර සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය. දැයේ ආරක්ෂාව, ඒකීයභාවය, ස්වෛරීත්වය සහ භෞමික අඛණ්ඩතාව වෙනුවෙන් රණවිරුවන් ඉටු කළ සුවිශේෂී මෙහෙවර වසරේ සෑම දිනකම අගය කළ යුතු බව ද ඔහු අවධාරණය කළේය.
අද (20) බත්තරමුල්ල රණවිරු ස්මාරකය අසලදී පැවැති වාර්ෂික රණවිරු සැමරුම් උත්සවයට එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේය. මෙම අවස්ථාව සඳහා සමගි ජන බලවේගයේ (SJB) පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් එක්ව සිටි අතර, එහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දක්වමින් සිය ගෞරවය පළ කළේය.
එහිදී මාධ්‍ය වෙත වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා කියා සිටියේ, යුද්ධයේ මෙන්ම ත්‍රස්තවාදයේ ද වින්දිතයන් බවට පත්වූ සියලු දෙනා වෙත ස්ථිරසාර හා තිරසර විසඳුම් ලබා දිය යුතු බවයි. ලක් පොළොව මත නැවත කිසිදු දිනක මෙවැනි කුරිරු යුද්ධයක් හෝ ත්‍රස්තවාදයක් ඇති නොවීම සඳහා රට තුළ ශක්තිමත් ප්‍රතිසංස්කරණ මෙන්ම ප්‍රතිසන්ධාන හා සංහිඳියා ක්‍රියාවලියක් (Reconciliation) අනිවාර්යයෙන්ම සිදුවිය යුතු බව ද ඔහු පෙන්වා දුන්නේය. රටේ ඒකීයභාවය සහ ස්වෛරීත්වය සුරක්ෂිත කරමින් ශ්‍රී ලංකාව සෞභාග්‍යය කරා රැගෙන යාම අප සැමගේ සාමූහික වගකීමක් බව ද විපක්ෂ නායකවරයා මෙහිදී වැඩිදුරටත් සිහිපත් කළේය.














