කොංගෝ රාජ්‍යය සහ උගන්ඩාව කේන්ද්‍ර කරගනිමින් ව්‍යාප්ත වන දුර්ලභ ගණයේ ‘බන්ඩිබුගියෝ’ (Bundibugyo) ඉබෝලා වෛරස් ප්‍රභේදය හේතුවෙන් මේ වන විට සැක සහිත රෝගීන් 600ක් සහ සැක සහිත මරණ 139ක් වාර්තා වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) අද (20) ප්‍රකාශ කර තිබේ. මෙම වෛරස් ව්‍යාප්තිය හඳුනා ගැනීමට පෙර එය සති කිහිපයක් තිස්සේ රහසිගතව සමාජගත වී තිබීම හේතුවෙන් ඉදිරියේදී රෝගීන් සහ මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව එම සංවිධානය පෙන්වා දෙයි.
ජිනීවා නුවරදී රැස්වූ ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි කමිටුව මඟින් මෙම වෛරස් තත්ත්වය ‘ජාත්‍යන්තර අවධානයට ලක්විය යුතු මහජන සෞඛ්‍ය හදිසි තත්ත්වයක්’ (PHEIC) ලෙස ස්ථිර කර ඇති නමුත්, එය ගෝලීය වසංගත (Pandemic) තත්ත්වයක් නොවන බව එහි අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් අද්හනම් ගෙබ්‍රෙයෙසස් (Tedros Adhanom Ghebreyesus) මහතා තහවුරු කර ඇත. වෛරසයේ අවදානම ජාතික සහ කලාපීය මට්ටමින් ඉහළ අගයක පැවතුණ ද, ගෝලීය මට්ටමින් එහි අවදානම පවතින්නේ ඉතා අඩු මට්ටමක බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි මෙහෙයුම් ප්‍රධානී චික්වේ ඉහෙක්වීසු (Chikwe Ihekweazu) මහතා ප්‍රකාශ කළේ, වත්මන් තත්ත්වය හමුවේ ඔවුන්ගේ ප්‍රධානතම කාර්යය වන්නේ වෛරසය ව්‍යාප්ත වන සියලුම දාමයන් හඳුනාගෙන රෝගීන්ට අවශ්‍ය ප්‍රතිකාර ලබා දීම බවයි. දැනට පවතින මෙම ‘බන්ඩිබුගියෝ’ ප්‍රභේදය සඳහා නිශ්චිත එන්නතක් මෙතෙක් නිෂ්පාදනය කර නොමැති අතර, නව එන්නතක් නිපදවීම සඳහා තවත් මාස කිහිපයක කාලයක් ගතවනු ඇතැයි ද වාර්තා වෙයි.














