ගාසා තීරයේ පවතින අවහිරතා මධ්‍යයේ මානුෂීය ආධාර බෙදා දීම සඳහා ගමන් කළ ‘Global Sumud’ නෞකා සමූහය ඊශ්‍රායල නාවික හමුදාව විසින් අන්තර්ජාතික මුහුදු සීමාවේදී අත්අඩංගුවට ගෙන ඇත. අදාළ නෞකාවල ගමන් ගත් ක්‍රියාකාරීන් මේ වන විට ඊශ්‍රායල වරායක රඳවා සිටින අතර, ඔවුන් බන්ධනාගාරගත කිරීමට පියවර ගන්නා බව අදාළ සංවිධායකයින් සහ ඊශ්‍රායල මානව හිමිකම් කණ්ඩායම් පවසති.
තුර්කියේ දකුණු ප්‍රදේශයෙන් පසුගිය බ්‍රහස්පතින්දා සිය තුන්වන ගමන ආරම්භ කළ මෙම නෞකා සමූහය ඉලක්ක කර ඊයේ (19) ඊශ්‍රායල ආරක්ෂක අංශ විසින් අවවාදාත්මක වෙඩි තැබීම් කිහිපයක් ද සිදුකර තිබුණි. 2025 ඔක්තෝබර් මාසයේ සිට ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර සටන් විරාමයක් පැවතිය ද, ගාසා තීරයේ අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල හිඟයක් පවතින බව පවසමින් මෙම ක්‍රියාකාරීන් ඊශ්‍රායලයේ නාවික අවහිරය බිඳ දැමීමට උත්සාහ කළහ. මීට පෙර අවස්ථාවලදී මෙලෙස අත්අඩංගුවට ගත් ක්‍රියාකාරීන් රඳවා තබා ගැනීමෙන් අනතුරුව පිටුවහල් කිරීමට ඊශ්‍රායලය පියවර ගෙන තිබිණි.














