කියුබාවේ නිදහස සහ පීඩිත ජන අයිතීන් වෙනුවෙන් දිවි පිදූ, ලෝකප්‍රකට කවියකු, ලේඛකයකු සහ දාර්ශනිකයකු වූ ජෝසේ මාර්ටි (José Martí) මහතාගේ අනුස්මරණ පිළිරුවක් කොළඹ මහජන පුස්තකාල පරිශ්‍රයේදී උත්සවාකාරයෙන් විවෘත කෙරිණි. ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සහ කියුබානු තානාපතිනී පැට්‍රීසියා ලාසාරෝ පේගෝ ගුවේරා මහත්මිය විසින් මෙම පිළිරුව නිරාවරණය කරනු ලැබීය.
මෙම අවස්ථාවට අමාත්‍ය විජිත හේරත්, ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ, ආචාර්ය තිලංග සුමතිපාල, කොළඹ නගරාධිපතිනී ව්‍රායි කැලී බල්තසාර් සහ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර යන මහත්ම මහත්මීන් ඇතුළු සම්භාවනීය පිරිසක් එක්ව සිටියහ. ජෝසේ මාර්ටි මහතාගේ දර්ශනය සහ නිදහස වෙනුවෙන් ඔහු සිදුකළ සුවිශේෂී මෙහෙවර අගය කරමින් මෙහිදී විශේෂ දේශන පැවැත්විණි. ප්‍රවීණ මූර්ති ශිල්පී ඇන්ඩෲස් ගොන්සාලෙස් ගොන්සාලෙස් විසින් මෙම පිළිරුව නිර්මාණය කර ඇති අතර, වාස්තුවිද්‍යාඥ කේෂාන් ද සිල්වා මහතා එහි සමස්ත සැලසුම්කරණය සිදුකර ඇත.














