ඇමෙරිකානු ඩොලර් හිඟය සහ දේශීය බලශක්ති නිෂ්පාදනය පහත වැටීම හේතුවෙන් උත්සන්න වී ඇති ආර්ථික සහ ඉන්ධන අර්බුදයට එරෙහිව බොලිවියාවේ පැවැත්වෙන රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ දැඩි වීමත් සමඟ, අගනුවර වන ලා පාස් (La Paz) හි පිහිටි බැංකු ශාඛා තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබේ. සේවක සංගම්, පතල් කම්කරුවන් සහ ප්‍රවාහන සේවකයන් ඇතුළු පිරිස් විසින් මධ්‍යගාමී ජනාධිපති රොඩ්රිගෝ පාස් (Rodrigo Paz) ගේ රජය විසින් පනවා ඇති දැඩි ආර්ථික ප්‍රතිපත්තිවලට එරෙහිව සහ ඉහළ යන ජීවන වියදමට විසඳුම් ඉල්ලමින් මෙම විරෝධතා දියත් කර ඇති අතර, ඇතැම් පිරිස් ජනාධිපතිවරයාගේ ඉල්ලා අස්වීම ද ඉල්ලා සිටිති.
පවතින නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ Banco Nacional de Bolivia සහ රාජ්‍ය බැංකුවක් වන Banco Union ඇතුළු බැංකු කිහිපයක් සිය ශාඛා වසා දමා ගනුදෙනුකරුවන්ට සබැඳි බැංකු සේවා (Online Banking) සහ ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර (ATM) භාවිත කරන ලෙස දැනුම් දී ඇත. මේ අතර, ඇමෙරිකානු නියෝජ්‍ය රාජ්‍ය ලේකම් ක්‍රිස්ටෝපර් ලැන්ඩෝ (Christopher Landau) ජනාධිපති පාස් සමඟ සාකච්ඡා කරමින් ප්‍රකාශ කර ඇත්තේ, පසුගිය මැතිවරණයෙන් පරාජයට පත් වූ පිරිස් මෙලෙස රජය පෙරළා දැමීමට උත්සාහ කරන බවයි. පවතින තත්ත්වය හමුවේ යුරෝපා සංගම් දූත පිරිස සහ යුරෝපීය තානාපති කාර්යාල කිහිපයක් ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් සාමකාමී උද්ඝෝෂණ සහ සාකච්ඡා මාර්ගයෙන් ගැටලු විසඳා ගැනීමට කටයුතු කරන ලෙස දෙපාර්ශවයෙන්ම ඉල්ලා සිටී.














