මෙවර වෙසක් උත්සව සමය තුළ හොල්මන් මන්දිර හෝ භූත ගුහා පවත්වන පිරිස්වලට සහ බුදු දහමට නිගා කරමින් ඔලුබක්කන් නටමින් ප්‍රසිද්ධියේ හැසිරෙන පුද්ගලයන්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් මහතා පවසයි. ආගමික වතාවත්වලට සහ වෙසක් උත්සවයේ උත්කර්ෂවත්භාවයට හානි වන අයුරින් කටයුතු කරන ඕනෑම අයෙකුට එරෙහිව කිසිදු තරාතිරමකින් තොරව නීතිය ක්‍රියාත්මක කිරීමට පොලිස් නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.
මෙම ක්‍රියාමාර්ග පිළිබඳව අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, වෙසක් උත්සවය යනු බෞද්ධ තෙමඟුල සිහි කරන උතුම් වූ අවස්ථාවක් බවත්, එවැනි උතුම් බෞද්ධ දර්ශනයකට හෝ බොදු සංස්කෘතියකට අගෞරවයක් වන අයුරින් කටයුතු කරන ඕනෑම අයෙකුට එරෙහිව ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ ප්‍රතිපාදන අනුව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවත්ය. ඊට අමතරව, අධික ශබ්ද සහ ඝෝෂා නංවමින් යතුරුපැදි හා ත්‍රීරෝද රථ පදවමින් සෙසු ජනතාවගේ මානසික ඒකාග්‍රතාව බිඳ හෙළන ක්‍රියාවන්ට එරෙහිව ද මෙවර විශේෂ අවධානයක් යොමු කරමින් දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට පොලිසිය සූදානම් වේ.














