ශ්‍රී ලංකා රජයේ විශ්වසනීයත්වය, ජනතා සුබසාධනය සහ විනිවිදභාවය සම්බන්ධයෙන් ෂැංහයි සහයෝගීතා සංවිධානයේ (SCO) මහ ලේකම් නුලර්න් යමෙර්ක්බායෙම් මහතා සිය ප්‍රසාදය පළ කර තිබේ. අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සමඟ අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැති විශේෂ සාකච්ඡාවකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.
2001 වසරේ ආරම්භ වූ SCO සංවිධානයේ සංවාද හවුල්කරුවකු වන ශ්‍රී ලංකාවට ඉදිරියේදී එහි පූර්ණ සාමාජිකත්වය පිරිනැමීම කෙරෙහි සලකා බලන බව ද මහ ලේකම්වරයා මෙහිදී සඳහන් කර ඇත. රජයේ සංවර්ධන ව්‍යාපෘති සඳහා ආයෝජන ක්ෂේත්‍රය ඔස්සේ සහාය වීමට කැමැත්ත පළ කළ ඔහු, SCO ප්‍රවාහන ක්ෂේත්‍රයේ මීළඟ අමාත්‍යවරුන්ගේ රැස්වීම සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රවාහන අමාත්‍යවරයාට ආරාධනා කරන බව ද පැවසීය. වරායවල ධාරිතාව ඉහළ නැංවීමට රජය ගෙන යන වැඩපිළිවෙළ වෙනුවෙන් තාක්ෂණික ප්‍රවාහන සහාය ලබා දෙන ලෙසත්, ආයෝජකයින් උනන්දු කරවන ලෙසත් අමාත්‍යවරයා මෙහිදී ඉල්ලා සිටි අතර, ශ්‍රී ලංකාවේ සංචාරක නියෝජිත ආයතන SCO සාමාජික රටවල් වෙත රැගෙන ගොස් සංචාරක ප්‍රවර්ධන කටයුතු කිරීමට සැලසුම් කර ඇති බව මහ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.














