ඉරාන යුද ගැටුම් හේතුවෙන් ඉන්ධන සහ පොහොර මිල අහස උසට ඉහළ යාම සහ පවතින දැඩි නියඟය හේතුවෙන් අමෙරිකානු ගොවි ජනතාව පෙර නොවූ විරූ මූල්‍ය සහ මෙහෙයුම් අර්බුදයකට මුහුණ දී සිටිති. විශේෂයෙන්ම ටෙක්සාස්, කැන්සාස්, ඔක්ලහෝමා, දකුණු ඩැකෝටා සහ නෙබ්‍රස්කා වැනි ප්‍රාන්තවල ගොවියන්ගේ වගාවන් වර්ෂාව නොමැති වීමෙන් විනාශ වෙමින් පවතින අතර, පිරිවැය පියවා ගැනීමට නොහැකිව ඔවුහු දැඩි සේ ලත වෙති.
පසුගිය පෙබරවාරි අග භාගයේදී හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) වසා දැමීමත් සමඟ, අමෙරිකාව තුළ කෘෂිකාර්මික ඩීසල් මිල 72%කින් ද, ගල්ෆ් කලාපයෙන් නිෂ්පාදනය කෙරෙන ප්‍රධාන පොහොරක් වන යුරියා මිල 55%කින් ද ඉහළ ගොස් ඇති බව කෘෂිකාර්මික සංවිධාන පෙන්වා දෙයි. මෙම යුද තත්ත්වයට පෙර සිටම පවතින නියඟය, ඉහළ නිෂ්පාදන වියදම් සහ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ වෙළෙඳ ප්‍රතිපත්ති හේතුවෙන් අමෙරිකානු අපනයන වෙළෙඳපොළ බිඳ වැටී තිබුණු අතර, නව මිල ඉහළ යාම් හමුවේ ඇතැම් ගොවියන් පිරිවැය අවම කරගැනීම සඳහා පොහොර භාවිතය සීමා කිරීමට පියවර ගැනීම නිසා අස්වැන්න තවදුරටත් පහත වැටීමේ අවදානමක් මතුව ඇත. දැනටමත් අමෙරිකානු ප්‍රධාන භූමියෙන් 60%ක් පමණ නියඟයෙන් පීඩා විඳින පසුබිමක, මෙම ද්විත්ව බලපෑම අමෙරිකානු කෘෂිකර්මාන්තයේ අනාගතය අවිනීත තත්ත්වයකට පත් කර තිබේ.














