2025 වසර තුළ ශ්‍රී ලංකාවේ සමස්ත අධිවේගී මාර්ග පද්ධතියෙන් රුපියල් මිලියන 16,330.1ක (රු. බිලියන 16.3ක්) ආදායමක් උපයා ඇති බව ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. මෙම පද්ධතියේ සමස්ත දුර කිලෝමීටර් 312.57ක් වන අතර, එහි වාර්ෂික නඩත්තු පිරිවැය රුපියල් මිලියන 5,180.9ක් වේ.
අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද දත්තවලට අනුව එක් එක් මාර්ගවල ආදායම් සහ නඩත්තු වියදම් පහත දැක්වේ. දක්ෂිණ අධිවේගී මාර්ගයෙන් රුපියල් මිලියන 5,031.28ක ආදායමක් ලැබී ඇති අතර එහි නඩත්තු වියදම රුපියල් මිලියන 2,024.5කි. පිටත වට රවුම් මාර්ගයේ ආදායම රුපියල් මිලියන 4,347.32ක් වන අතර එහි නඩත්තු වියදම රුපියල් මිලියන 767.6කි. කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයේ ආදායම රුපියල් මිලියන 3,355.12ක් ලෙසත්, එහි නඩත්තු වියදම රුපියල් මිලියන 834.1ක් ලෙසත් වාර්තා වේ. දක්ෂිණ දිගුව (අන්දරවැව-හම්බන්තොට) මගින් රුපියල් මිලියන 2,019.45ක ආදායමක් සහ රුපියල් මිලියන 1,022.7ක නඩත්තු වියදමක් ලැබී ඇත. මධ්‍යම අධිවේගී මාර්ගයේ ආදායම රුපියල් මිලියන 1,576.97ක් වන අතර එහි නඩත්තු වියදම රුපියල් මිලියන 531කි. සමස්තයක් ලෙස කිලෝමීටර් 312.57ක දුර ප්‍රමාණයක් සඳහා මෙම සමස්ත ආදායම හා වියදම් වාර්තා වී ඇත.
මෙම දත්තයන්ට අනුව, අධිවේගී මාර්ග පද්ධතියේ ආදායම එහි වාර්ෂික නඩත්තු වියදම මෙන් තුන් ගුණයකට වඩා වැඩි අගයක් ගනී. මන්ත්‍රී රවී කරුණානායක මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මෙම කරුණු අනාවරණය කළේය.














