නුවරඑළිය ඓතිහාසික රෝස තැපැල් කාර්යාලයේ අකුණු සන්නායකයට සිදුවී ඇති හානිය සම්බන්ධයෙන් නුවරඑළිය පොලිසිය නිසි ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව “නුවරඑළිය සුරැකීමේ සංවිධානය” චෝදනා කරයි.
එම සංවිධානය පවසන්නේ, සංවර්ධන කටයුතු අතරතුර තැපැල් කාර්යාලයේ අකුණු සන්නායකයට සම්බන්ධ තඹ පටිය කැඩී යාම සහ එම උපකරණය අස්ථානගත වීම සම්බන්ධයෙන් නුවරඑළිය තැපැල් ස්ථානාධිපතිනිය පසුගිය අප්‍රේල් 10 වැනි දින පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවයි. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ද මේ පිළිබඳව දැනුවත් කර තිබියදීත් මෙතෙක් ප්‍රමාණවත් පරීක්ෂණයක් සිදු නොවීම ගැටලුවක් බව ඔවුන් වැඩිදුරටත් සඳහන් කරයි.
මෙම චෝදනාව සම්බන්ධයෙන් නුවරඑළිය පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ඉඳුනිල් ප්‍රේමලාල් මහතාගෙන් කළ විමසීමකදී ඔහු ප්‍රකාශ කළේ අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් අවශ්‍ය විමර්ශන කටයුතු මේ වන විටත් සිදුවෙමින් පවතින බවයි. ඒ අනුව මේ වන විටත් කටඋත්තර කිහිපයක් ලබාගෙන ඇති අතර, ඉදිරි නීතිමය කටයුතු කඩිනමින් සිදු කිරීමට පියවර ගන්නා බව ඔහු වැඩිදුරටත් තහවුරු කළේය.














