රට තුළ කියවීමේ සංස්කෘතිය වියැකී යමින් පවතින පසුබිමක, දමිළ ජනතාව තවමත් කියවීම සඳහා දක්වන විශේෂ උනන්දුව අගය කළ යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ මඩකලපුව මහ නගර සභාවේ මහජන පුස්තකාලයේ නව ගොඩනැඟිල්ල ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයට එක්වෙමිනි.
මෙම අවස්ථාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සහභාගිත්වයෙන් සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (20) පෙරවරුවේ සිදු කෙරිණි. අතලොස්සක් බාධක මධ්‍යයේ නතර වී තිබූ මෙම පුස්තකාලයේ ඉදිකිරීම් කටයුතු සාර්ථකව නිමාවට පත් කිරීම පිළිබඳව ජනාධිපතිවරයා මෙහිදී සිය සතුට පළ කළේය.
නව පුස්තකාල ගොඩනැඟිල්ල විවෘත කිරීමත් සමඟ එහි නිල වෙබ් අඩවිය ද ජනාධිපතිවරයා අතින් දියත් කෙරිණි. දරුවන් සඳහා විද්‍යා සහ තාක්ෂණික දැනුම ලබා දීම වෙනුවෙන් වෙන් වූ විශේෂ ඒකකයක් මෙම පුස්තකාලයට ඇතුළත් කර තිබීම විශේෂත්වයකි. පුස්තකාලයක් විවෘත කිරීම යනු අනාගතයේ බන්ධනාගාරයක අවශ්‍යතාව පවා අවම කරගැනීමට දායක වන්නක් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, මෙම පියවර හරහා දමිළ ජනතාවගේ පොත් කියවීමේ සංස්කෘතිය තවදුරටත් දිරිමත් වනු ඇති බව විශ්වාසය පළ කළේය.
මඩකලපුව මහනගර සභාවේ කාර්ය මණ්ඩලය සමඟ සුහද කතාබහක නිරත වූ ජනාධිපතිවරයා, පුස්තකාල භූමියේ සමරු පැළයක් ද රෝපණය කළේය. නගරාධිපති කේ. සිවම් පාක්‍යියානාදන් මහතා විසින් ජනාධිපතිවරයා වෙත විශේෂ සමරු තිළිණයක් ද පිරිනමන ලදී.
මෙම අවස්ථාවට කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති, නැඟෙනහිර පළාත් ආණ්ඩුකාර මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර, කන්දසාමි ප්‍රභූ, ජී. ශ්‍රීනේශන්, එස්. රාසාමාණික්කම්, එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා යන මහත්වරුන් ඇතුළු පක්ෂ විපක්ෂ දේශපාලන නියෝජිතයන් සහ රාජ්‍ය නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.














