පෑලියගොඩ පොලිස් වසමට අයත් පෑලියගොඩ නගරයේ ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථාන මුවාවෙන් රහසිගතව පවත්වාගෙන ගිය අශිෂ්ට ගණිකා නිවාස තුනක් ඊයේ (20) දින රාත්‍රී කාලයේදී පෑලියගොඩ පොලිස් ස්ථානයේ දූෂණ මර්ධන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් එකවර වටලනු ලැබීය. පොලිස් බුද්ධි අංශයට ලැබුණු රහසිගත තොරතුරක් මත මෙම වැටලීම් තුන (03) එකිනෙකට වෙනස් ස්ථානවලදී සිදු කර ඇති අතර, එහිදී පිරිමි කළමනාකරුවන් දෙදෙනෙකු, කාන්තා කළමනාකාරිනියක සහ ගණිකා සේවයේ යෙදී සිටි සැකකාරියන් අට දෙනෙකු (08) ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිසිය පවසන පරිදි අත්අඩංගුවට ගත් පිරිමි සැකකරුවන් දෙදෙනා අවුරුදු 33 සහ 38 යන වයස්වල පසුවන කුඹුක්දෙව සහ වලස්මුල්ල යන ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති. එලෙසම එහි රැඳී සිටි සැකකාරියන් 09 දෙනා අවුරුදු 19ත් 49ත් අතර වයස් සීමාවන්හි පසුවන නිවිතිගල, නෙළුව, මාතලේ, කඩහප්පොල, දෙමෝදර, කොටුගොඩ, බගවන්තලාව, මහව සහ රත්නපුර වැනි දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණි කාන්තාවන් බව හඳුනාගෙන ඇත. මෙම ජාවාරම සංවිධානාත්මකව දිගු කලක් තිස්සේ පවත්වාගෙන ගොස් ඇති අතර, සැකකරුවන් සහ සැකකාරියන් අද දින අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. පෑලියගොඩ පොලිස් ස්ථානය මඟින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සක්‍රීයව ක්‍රියාත්මක කරනු ලබයි.














