අතීතයේ පැවති පටු දේශපාලන බෙදීම් සහ ජාතිවාදය මුළුමනින්ම පරාජය කරමින්, අද වන විට උතුරේ ජනතාව පිළිගන්නා දකුණකුත්, දකුණේ ජනතාව සහෝදරත්වයෙන් පිළිගන්නා උතුරකුත් මෙරට තුළ සාර්ථකව නිර්මාණය වී ඇතැයි ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා ප්‍රකාශ කළේය. කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා (BMICH) පරිශ්‍රයේදී පැවැත්වුණු ජාතික අන්තර් ආගමික සමුළුව අමතමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා අවධාරණය කළේ, මෙරට දෙමළ සහ මුස්ලිම් ජනතාවට අතීතයේදී විවිධ දේශපාලනමය හා සමාජයීය බලපෑම් හේතුවෙන් එල්ල වී තිබූ පීඩනය වත්මන් රජයේ සංහිඳියා ප්‍රතිපත්ති නිසා අද වන විට විශාල වශයෙන් අඩු වී ඇති බවයි. වත්මන් සමාජය තුළ ජාතිවාදය මුළුමනින්ම අවසන් කිරීමට රජය සහ ජනතාව සමත්ව ඇති බව ද ඔහු පැවසීය. ශ්‍රී ලංකා ජාතික සාම මණ්ඩලය (NPC) විසින් සංවිධානය කරන ලද මෙම මහා සමුළුව සඳහා එහි විධායක අධ්‍යක්ෂ ආචාර්ය ජෙහාන් පෙරේරා මහතා ඇතුළු සිවිල් සංවිධාන නියෝජිතයන්, සර්ව ආගමික නායකයන් සහ විද්වතුන් පිරිසක් සහභාගී වී අදහස් දැක්වූහ.














