රාජ්‍ය සේවා කොමිෂන් සභාව (PSC) මඟින් නීත්‍යානුකූලව පත් කළ අමාත්‍යාංශ අතිරේක ලේකම්වරයෙකු, සේවයට වාර්තා කළ පළමු දිනයේදීම කාර්යාලයෙන් පන්නා දමා, ඔහුව දැඩි මානසික කනස්සල්ලට සහ අවමානයට ලක්කිරීම තුළින් ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා විසින් එම නිලධාරියාගේ මූලික මිනිස් අයිතිවාසිකම් බරපතළ ලෙස උල්ලංඝනය කර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය ඓතිහාසික තීන්දුවක් දෙමින් ප්‍රකාශයට පත් කළේය.
තමන්ට සිදුවූ අසාධාරණය වෙනුවෙන් වසර 30ක සේවා පළපුරුද්දක් ඇති ශ්‍රී ලංකා පරිපාලන සේවයේ (SLAS) විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකු වන ඩබ්ලිව්.එස්. සත්‍යානන්ද මහතා විසින් ගොනුකළ මූලික අයිතිවාසිකම් (FR) පෙත්සම විභාග කිරීමෙන් අනතුරුව, ආචාර්ය සෝභිත රාජකරුණා සහ ජනක් ද සිල්වා යන විනිසුරු මඩුල්ලේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අර්ජුන ඔබේසේකර මහතා විසින් පෙරේදා (19) මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබීය. පෙත්සම්කරු පෙන්වා දී තිබුණේ 2024 දෙසැම්බර් 18 වැනිදා තමන් අමාත්‍යාංශයේ වැඩ භාරගෙන සුළු වේලාවකින්, දහවල් 12.30ට පමණ තම කාමරයට කඩා වැදුණු වගඋත්තරකාර ලේකම් කපිල පෙරේරා මහතා “ඔබේ සේවය මට අවශ්‍ය නැහැ, වහාම කාර්යාලයෙන් පිටව යන්න” යැයි කියමින් උසස් රාජ්‍ය නිලධාරියෙකුට නුසුදුසු අන්දමින් අත්තනෝමතික ලෙස තමන්ව පන්නා දැමූ බවයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ රීතිවලට අනුව අතිරේක ලේකම්වරයෙකු පත් කිරීමේ හෝ මාරු කිරීමේ පූර්ණ බලය ඇත්තේ රාජ්‍ය සේවා කොමිසමට පමණක් බවත්, අමාත්‍යාංශ ලේකම්වරයෙකුට අධීක්ෂණ බලතල තිබුණ ද කොමිසමේ බලතල තමන් යටතට ගැනීමට උත්සාහ කිරීම බරපතළ වරදක් මෙන්ම නීතියේ ආධිපත්‍යය බිඳ දැමීමක් බවත් විනිසුරුවරයා පෙන්වා දුන්නේය. රාජ්‍ය නිලධාරීන් යනු ජනතාවගේ භාරකරුවන් බව සිහිපත් කළ අධිකරණය, පත් කිරීම්වලට බලපෑම් කරන ඕනෑම අයෙකුට වසර 7ක සිරදඬුවම් හෝ ලක්ෂයක දඩයක් නියම කළ හැකි බව ද සඳහන් කළේය. ඒ අනුව ලේකම්වරයා විසින් පෙත්සම්කරුගේ 12(1) ව්‍යවස්ථාව යටතේ වන නීතිය ඉදිරියේ සමාන සැලකිලි ලැබීමේ මූලික අයිතිය උල්ලංඝනය කර ඇති බව තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය, ඔහුට සිදුවූ අගෞරවය මුදලින් තක්සේරු කර යථා තත්ත්වයට පත් කළ නොහැකි බැවින් වන්දි හෝ නඩු ගාස්තු නියම නොකරන බව ද වැඩිදුරටත් සඳහන් කළේය.















