ත්‍රිවිධ හමුදාව, ශ්‍රී ලංකා පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ (STF) සියලුම නිලධාරීන් මුහුණ දෙන විවිධ ගැටලු නිවැරදිව හඳුනාගෙන ඒවාට කඩිනම් විසඳුම් සෙවීම සඳහා විශේෂ කමිටුවක් පත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය, විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතා අද (21) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මේ බව අනාවරණය කළේය.
රට වෙනුවෙන් සේවය කරන ආරක්ෂක අංශ සාමාජිකයන්ගේ මෙන්ම විශ්‍රාමික හා සේවයේදී ආබාධිත වූ රණවිරුවන්ගේ සුභසාධනය උපරිමයෙන් තහවුරු කිරීම රජයේ වගකීමක් බව පෙන්වා දුන් නියෝජ්‍ය අමාත්‍යවරයා, මෙම කමිටුව හරහා ඔවුන්ගේ වැටුප්, දීමනා, නිල උසස්වීම් මෙන්ම වැන්දඹු හා අනත්දරු විශ්‍රාම වැටුප් ක්‍රමවේදයන්හි පවතින ගැටලු ද පුළුල් ලෙස සමාලෝචනය කර විසඳුම් ලබා දීමට අපේක්ෂා කරන බව වැඩිදුරටත් සඳහන් කළේය.














