බේස්ලයින් සහ නාරාහේන්පිට දුම්රිය ස්ථාන අතර පිහිටි කෝට්ටේ පාර (Kota Road) දුම්රිය හරස් මාර්ගයේ සිදුකිරීමට නියමිත අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැලණි වැලි දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය තාවකාලිකව සීමා කිරීමට පියවර ගෙන ඇති බව ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඒ අනුව එළඹෙන මැයි විසිතුන් වැනිදා (23) පෙරවරු නවයයි තිහේ සිට මැයි විසිහතර වැනිදා (24) පූර්වභාග හතයි තිහ දක්වා කාලය තුළ මෙම හරස් මාර්ගය වසා තැබෙන අතර දුම්රිය ගමනාගමනය ද සීමා වනු ඇත.
මෙම සංශෝධනයට අනුව මැයි විසිතුන් වැනි සෙනසුරාදා දින කෝට්ටේ පාර දුම්රිය හරස් මාර්ගයේ ගමනාගමනය සම්පූර්ණයෙන්ම තහනම් වන අතර, නාරාහේන්පිට දුම්රිය ස්ථානයේ සිට අවිස්සාවේල්ල බලා සාමාන්‍ය (Slow) දුම්රිය තුනක් පමණක් ධාවනය වීමට නියමිතය. එසේම මැයි විසිහතර වැනි ඉරිදා දින කැලණි වැලි මාර්ගයේ කොළඹ කොටුවේ සිට නාරාහේන්පිට දක්වා දුම්රිය ධාවනය නොවන අතර, එදින ද නාරාහේන්පිට දුම්රිය ස්ථානයේ සිට අවිස්සාවේල්ල දක්වා පමණක් සාමාන්‍ය දුම්රිය තුනක් ධාවනය කෙරේ. මෙම කාලසටහන් සංශෝධන පිළිබඳව සැලකිලිමත් වී තම ගමන් බිමන් සැලසුම් කරගන්නා ලෙස දුම්රිය දෙපාර්තමේන්තුව මගීන්ගෙන් ඉල්ලා සිටියි.















